ලෝක බැංකු සමූහයේ දේශිය කළමනාකාර ගෙවෝගර් සාගර්සයාන් ප්රමුඛ නියෝජිත කණ්ඩායමක් සහ වරාය සහ සිවිල් ගුවන්සේවා සහ බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක අතර හමුවක් අද පැවැති බව වාර්තා වේ .
මෙම සාකච්ඡාවේදී ප්‍රධාන වශයෙන් කොළඹ වරාය සම්බන්ධයෙන් නව මූල්‍ය ආකෘති සහ පෞද්ගලික අංශ සහභාගීත්වය පිළිබඳ සාකච්ඡා කළ බව අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයක සඳහන් වෙයි .
එම සාකච්චාවේදී ලෝක බැංකුවේ දේශීය කළමනාකාරවරයා කොළඹ වරායේ සංවර්ධනය ගැන රජයේ අදහස විමසා ඇති අතර කොළඹ වරායේ යටිතල පහසුකම් සංවර්ධනය ගැන ලෝක බැංකු සමූහය සහ ආසියානු සංවර්ධන බැංකුව විශේෂ අධ්‍යයනයක් සිදු කරමින් සිටින බව ද සඳහන් කර ඇත.
මේ වන විට ලෝක බැංකු සමූහය විසින් ඉදිරිපත් කර ඇති අරමුදල් යෝජනාව සහ මූල්‍ය ආකෘති රජය විසින් තවදුරටත් සලකා බලමින් සිටින බවත්, ඒ සඳහා මුදල් අමාත්‍යාංශය සහ භාණ්ඩාගාර සම්බන්ධ කරගැනීමේ අවශ්‍යතාවය ද අමාත්‍යවරයා පෙන්වා දී තිබේ.
නැගෙනහිර බහාලුම් පර්යන්තය වෙනම ආයතනයක් ලෙස සංවර්ධනය කිරීමට අවධානය යොමු වී ඇති අතර, ඒ සම්බන්ධව නීතිපතිවරයාගේ උපදෙස් ඉල්ලා ඇති බව ද මෙහිදී සඳහන් කෙරුණි.
එවැනි වෙනසක් සිදු කරන විට වෘත්තීය සමිති පාර්ශවයන්ගේ ද එකඟත්වයෙන් සාම්ප්‍රදායික රාජ්‍ය ව්‍යවසායකයට වඩා වැඩි ස්වාධීනත්වයක් සහ වාණිජ නම්‍යශීලිත්වයක් ඇති ආකෘතියක් අවශ්‍ය බව ද ප්‍රකාශ කෙරුණු බව අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.