හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ හිටපු පෞද්ගලික ලේකම්, සුගීෂ්වර බණ්ඩාර ලබන ජුලි මස පළමුවෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද පස්වරුවේ නියෝග කළේය .
ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවේ දූෂණ විරෝධී කමිටුව විසින් ජනාධිපති වැය ශීර්ෂය යටතේ සිදු වූ මුදල් වංචාවක් සම්බන්ධයෙන් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය වෙත යොමු කරන ලද පැමිණිල්ලක් අනුව ඔහු අද පස්වරුවේ කොල්ලුපිටියේදී මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ නිළධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
2022 වසරේ විශ්‍රාමික ජනාධිපතිවරයෙකු වූ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ලේකම්වරයෙකු වශයෙන් සිටිමින් හා රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධූරය දැරූ එම කාල වකවානුව තුළම ජනාධිපති ලේකම් කාර්යාලයේ ව්‍යාපෘති අධ්‍යක්ෂවරයෙකු ලෙස කටයුතු කරමින් ජනාධිපති වැය ශීර්ෂය යටතේ වැටුප් දෙකක් ලබාගත්තේයයි ඔහුට චෝදනා එල්ල වී ඇත . ඒ අනුව පොදු දේපළ පනතේ 5 (1) යටතේ සහ දණ්ඩ නීති සංග්‍රහය යටතේ සැකකරු වැරදි සිදු කර ඇතැයි විමර්ශකයින් අධිකරණය හමුවේ සඳහන් කළේය.
ඒ ඔහු අද පෙරවරුවේ IMF නිලධාරීන් හා ඒකාබද්ධ විපක්ෂයේ සාමාජිකයින් අතර පැවති හමුවෙන් අනතුරුව නැවත පැමිණෙමින් සිටියදි ඔහු මෙලෙස අත් අඩංගුවට පත්ව ඇත .
සුගීෂ්වර බණ්ඩාර ඉහත තනතුරු දරමින් සිටියදී රජයේ වාහන අවභාවිතා කිරීමක් හා එහි සේවකයින් දේශපාලන කටයුතු සඳහා යොදවා ගැනීමට කටයුතු කිරීමක් සම්බන්ධයෙන් ද විමර්ෂණ පැවැත්වෙන බව මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය වැඩිදුර විමර්ශන පවත්වන බව පොලීසිය පවසයි.