වාහන මිල 25% කින් ඉහළට .

රජය විසින් පනවන ලද නව අධිභාරය හේතුවෙන් වාහන මිල සියයට 25කින් පමණ ඉහළ යනු ඇතැයි ගණන් බලා ඇති අතර, මේ හේතුවෙන් වාහන ආනයනය සඳහා ණයවර ලිපි (LC) විවෘත කිරීම ශීඝ්‍රයෙන් පහත වැටී ඇති බව වාහන ආනයනකරුවෝ පෙන්වා දෙති .

‘ද සන්ඩේ මෝනිං බිස්නස්’ වෙත අදහස් දක්වමින් ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ (VIASL) ලේකම් සහ මාධ්‍ය ප්‍රකාශක අරෝෂ රොද්‍රිගෝ පවසනුයේ, රේගු ආනයන බද්ද මත පනවා ඇති 50%ක අධිභාරය, විනිමය අනුපාතිකය ඇතුළු නව වෙළඳපොළ තත්ත්වයන් හේතුවෙන් වාහන මිල සාමාන්‍යයෙන් 25%ක ප්‍රමාණයකින් ඉහළ යනු ඇති බවයි.

“විනිමය අනුපාතය හේතුවෙන් මිල 10% කින් පමණ වැඩිවෙනවා. අධිභාරය නිසා තවත් 15% ක වැඩිවීමක් සිදුවන අතර සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද (SSCL) හේතුවෙන් වාහනයක මිල රුපියල් 250,000කින් පමණ ඉහළ යනවා. ඒ අනුව සමස්තයක් ලෙස වාහනයක මිල සාමාන්‍යයෙන් 25%කින් පමණ ඉහළ යනු ඇති,” යැයි ඔහු පැවසීය .