සුරේෂ් සලේ මරණය තෙක් උපවාසයක් අරඹයි .

හිටපු රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ, මේජර් ජෙනරල් සුරේෂ් සලේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවේ පසුවෙමින් මරණය ඉලක්ක කරගත් මාරාන්තික උපවාසයක් ආරම්භ කර ඇති බව පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල පැවසීය .

අද (06) විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් ඔහු සඳහන් කළේ, තමන්ට සිදුවන අමානුෂික වදහිංසාවලට විරෝධය පළ කරමින් ඊයේ රාත්‍රියේ සිට සුරේෂ් සලේ මෙම උපවාසය ආරම්භ කර ඇති බවයි.

වහාම ක්‍රියාත්මක වන පරිදි එම මාරාන්තික උපවාසය නතර කර ජීවිතය බේරාගන්නා ලෙස හිටමු අමාත්‍ය උදය ගම්මන්පිල ඔහුගෙන් දැඩි ආයාචනයක් ද මෙහිදී සිදුකරනා ලදි .

සුරේෂ් සාලේගේ බිරිඳ සහ පුත්‍රයා විසින් කරන ලද හදිසි ඉල්ලීමකට අනුව මෙම මාධ්‍ය හමුව කැඳවූ බව පැවසූ උදය ගම්මන්පිල, මෙම රඳවා තබා ගැනීම අධිකරණ නියෝගයක් මත සිදු වූවක් නොව, ජනාධිපතිවරයා විසින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ තමන්ට ඇති බලතල අවභාවිත කරමින් ලබාදුන් නියෝගයක් මත සිදුවූවක් බවත්, එය මේ වනවිටත් අධිකරණය ඉදිරියේ අභියෝගයට ලක් කර ඇති බවත් ප්‍රකාශ කළා.

අද දින උදෑසන සුරේෂ් සලේ බැලීම සඳහා ඔහුගේ සහෝදරයා සහ පුත්‍රයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ගිය අවස්ථාවේදී ඔහු දැඩි මානසික ඇද වැටීමකට ලක්ව සිටිබව තමාට දැනගැනීමට ලැබුනේ යයි ඔහු පැවසීය .

ඊයේ රාත්‍රියේ සුරේෂ් සලේට ආහාර ලෙස පත්තර කොළයක් බිම එළා ඒ මත බත් හැන්දක් සහ රාබු හොදි පමණක් බෙදා ඇති බවත්, එය අතට ගැනීමට යාමේදී පත්තර කොළය ඉරී කෑම බිමට වැටීම නිසා ඔහුට බිම වැටුණු ආහාර අනුභව කිරීමට සිදුවූ බවත් ඔහු සඳහන් කළේය .

මේ හේතුවෙන් දැඩි සේ කම්පනයට පත් සුරේෂ් සලේ තමන්ට බල්ලෙකුටත් වඩා අන්ත ලෙස සලකන බව පවසමින් හඬා වැටී ඇති අතර, ආහාර, ජලය සහ ඖෂධ පවා ප්‍රතික්ෂේප කරමින් මාරාන්තික උපවාසයකට අවතීර්ණ වී ඇති බව උදය ගම්මන්පිළ සඳහන් කළේය.

මෙම ප්‍රකාශය සිදු කරන අවස්ථාවේදී ඔවුන්ගේ කතාවලට සවන්දීම සඳහා සාක්ෂිකරුවන් ලෙස පොලිස් නිලධාරීන් හත් දෙනෙකු යොදවා සිටි බවද උදය ගම්මන්පිල මහතා පැවසුවා.

එමෙන්ම සහරාන්ව අත්අඩංගුවට ගැනීමට එදා ශානි අබේසේකර මහතා නිලධාරීන් හිඟ බව පැවසුවද, අද වන විට සුරේෂ් සලේ මහතා තම පුතා සමඟ කතා කරන දේ ඇසීමට නිලධාරීන් හත් දෙනෙකු යෙදවීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්‍තුවට ඕනෑතරම් නිලධාරීන් සිටින බව ඔහු පෙන්වා දුන්නේය .

කෙසේ වෙතත් සුරේෂ් සලේ මියගියහොත් එහි වාසිය ලැබෙන්නේ ආණ්ඩුවට බැවින්, වහාම උපවාසය නතර කර ජීවත් වෙමින් තමන්ගේ නිර්දෝෂීභාවය ඔප්පු කරන ලෙසට තම මිත්‍රයාගෙන් නැවතත් ඉල්ලා සිටින බව උදය ගම්මන්පිළ වැඩිදුරටත් කියා සිටියා.