සුරේෂ් සලේ බලන්නට කොටුව මහේස්ත්‍රාත් සී.අයි.ඩි යට.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන ප්‍රශ්ණ කරනු ලබන හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේ ඇතුළු සැකකරුවන් 19 දෙනෙකුගේ තත්ත්වය නිරීක්ෂණය කිරීම සඳහා කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන අද (01) අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියා.

පාස්කු ඉරු දින එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාලාවට අදාළව රැඳවුම් නියෝග මත මෙම සැකකරුවන් පිරිසගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දීර්ඝ ලෙස ප්‍රශ්න කරමින් සිටියි . ඉකුත් 28 වැනිදා සුරේෂ් සලේ සම්බන්ධ රැඳවුම් නියෝගය තවත් දින 90 ක්ට දීර්ඝ කරමින් ඊට අදාල අවසරය ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ලබාදී ඇත . ඒ අනුව ඉකුත් පෙබරවාරි 25 වැනිදා අත්අඩංගුවට ගත් සුරේෂ් සලේ තවමත් රඳවාගෙන ප්‍රශ්න කරමින් සිටී . සුරේෂ් සලේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ විභාග වන නඩුවේ තුන්වන සැකකරු ලෙස නම් කර එකී නඩුවටද ඉදිරිපත් කරයි.

අද දින අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණි මහෙස්ත්‍රාත්වරයා රැඳවුම් භාරයේ පසුවන සැකකරුවන් පිරිස නිරීක්ෂණය කරනා ලද අතර, එහිදී මහේස්ත්‍රාත්වරයා, ඔවුන්ගේ සෞඛ්‍ය තත්ත්වය සහ අනෙකුත් අවශ්‍යතා පිළිබඳවද සොයා බැලීමට කටයුතු කරන ලදි .

මහේස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වගකිවයුතු නිලධාරීන්ට අවශ්‍ය උපදෙස් ලබා දුන් අතර සැකකරුවන් නිරීක්ෂණය කිරීම සම්බන්ධයෙන් වන නිල සටහන් තැබීමටද පියවර ගන්නා ලදි .