උණ දවස් දෙකකට වැඩිනම් රුධිරය පරීක්ෂා කරගන්න.

පවතින වැසි තත්ත්වයත් සමඟ ශ්‍රී ලංකාව තුළ ඩෙංගු සහ චිකුන්ගුන්යා රෝගීන්ගේ සංඛ්‍යාව කැපීපෙනෙන ලෙස ඉහළ යමින් පවතින බවත්, දින දෙකකට වඩා උණ පවතී නම් වහාම වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුවී රුධිර පරීක්ෂණ සිදුකර ගත යුතු බවත් විශේෂඥ වෛද්‍ය මහේෂක විජයවර්ධන පවසයි.

මේ වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු රෝගීන් දහස් ගණනක් වාර්තා වී ඇති අතර, ඉන් වැඩි ප්‍රමානයක් වී ඇත්තේ කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික් දෙකටය . ඊට අමතරව වසර කිහිපයකට පසු චිකුන්ගුන්යා රෝගීන්ගේ ද වර්ධනයක් දැකිය හැකි බව වෛද්‍ය විජයවර්ධන අනතුරු අඟවයි.

ඩෙංගු මෙන්ම චිකන්ගුන්යා රෝග දෙකම ව්‍යාප්ත වන්නේ ඊඩිස් මදුරුවන් මඟින් බවත්, උණ, හිසරදය, ඇඟපත වේදනාව, හන්දිපත් රුදාව සහ සමේ පලු දැමීම වැනි සමාන රෝග ලක්ෂණ මුල් අවස්ථාවේදී මතු වන නිසා රෝගය නිවැරදිව හඳුනාගැනීම අපහසු බවත් ඔහු පවසයි.

ඩෙංගු රෝගය, ‘ඩෙංගු ලේ ගැලීමේ උණ’ තත්ත්වය දක්වා වර්ධනය වුවහොත් එය ජීවිත අවදානමක් මතු කරන බවත්, නිසි ප්‍රතිකාර නොලැබුණහොත් ශරීර අභ්‍යන්තරයෙන් ලේ ගැලීම, කම්පන තත්ත්වයන් සහ මරණය පවා සිදුවිය හැකි බවත් හෙතෙම පෙන්වාදෙයි.

එසේම, උණ වැළඳුණු මුල් දිනවලදී පැරසිටමෝල් හැර වෙනත් වේදනා නාශක ඖෂධ (NSAIDs) භාවිත නොකරන ලෙස වෛද්‍යවරයා උපදෙස් දෙයි.