සුරේෂ් සලේගේ ජීවිතයට හානියක් වෙතිත් රජය ඊට වගකිවයුතුයි .

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේට තුන්වැනි වරටත් රැඳවුම් නියෝග ලබානොදී වහාම අධිකරණයට ඉදිරිපත්කරන්නැයි ජාතික සංවිධාන එකමුතුව ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටී .

“සලේට යුක්තිය – සංවාද මණ්ඩපය” නමින් කොළඹදී කැඳවා තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී එම සංවිධානයේ නියෝජිතයින් ප්‍රකාශ කළේ සුරේෂ් සලේ තවදුරටත් රැඳවුම් නියෝග මත රඳවාගැනීමෙන් ඔහුගේ ජීවිතයට යම් හානියක් සිදුවුවහොත් එහි වගකීම ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව භාරගත යුතු බවය.

එහිදී අදහස් දැක්වූ ජාතික සංවිධාන එකමුතුව සාමාජික නීතිඥ කල්‍යානන්ද තිරාණගම පැවසුවේ සුරේෂ් සලේ සිදුකළ නීති විරෝධී කටයුත්ත කුමක්ද යන්න පිළිබඳව කිසිදු තොරතුරක් නොමැති අතර අත්අඩංගුවට ගැනීමට ද කිසිදු පදනමක් නොමැති බවය.

එමෙන්ම සිදුකර ඇත්තේ පදනම් විරහිතව රැඳවුම් නියෝගය නිකුත් කිරීමක් බවද ඒ මහතා පෙන්වා දෙයි.

එහිදී අදහස් දැක්වූ සර්වජන බලයේ උපසභාපති අනුරාධා යහම්පත් මහත්මිය,

“දැන් මාස හයක් ඔහු අත්අඩංගුවේ රැඳී සිටිනවා. ඔහු ඉතාමත්ම රෝගාතුර තත්ත්වයක සිටින්නේ. ඔහුව රෝගාතුර තත්වයකට එනකං ඔහුට ඉතාමත්ම කෲර ලෙස සැලකූ බවත් අපි දන්නවා. ඊළඟට විසි අටවෙනිදා වෙනකොට තුන්වෙනි වරටත් ඔහුට බඳවා ගැනීමේ නියෝගය තවදුරටත් තිබෙනවාද නැද්ද කියන දේ, ජනාධිපතිතුමා තවදුරටත් රණවිරුවාගෙන් පළිගන්නා බවට ජනතාවට පෙන්වා දෙනවාද? එහෙම වුවොත් ජනතාවට ඔහුට වග කියන්නට සිදුවෙනවා. මොකද ජනතාවත් දැන් අවබෝධ කරගෙන තියෙන්නේ මේ රණවිරු පළිගැනීමක්ය කියන එක.”

එහිදී අදහස් දැක්වූ ජාතික සංවිධාන එකමුතුවේ වෛද්‍ය වසන්ත බණ්ඩාර ,

“දැන් එතුමා අසනීපෙන් ඉද්දි මේ දෙන වධ බන්ධන දීලා, එතුමා මිය ගියොත් එහෙම මේ රටේ ජනතාවගෙන් ඒකට සමාව හම්බ වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා අපේ ආණ්ඩුවට බල කරලා කියනවා විසිඅටවෙනිදට පෑන අතට ගන්න ලෑස්ති එපා. අනුර දිසානායක ජනාධිපතිතුමා වහාම මේ සම්බන්ධයෙන් වෙනම පරීක්ෂණයක් ආරම්භ කරන්න ඕන. මේ කුමන්ත්‍රණය තේරුම් අරගෙන ඔහුව නිදහස් කරන්න කියන ඉල්ලීම අපි කරනවා.”