නැවත වරක් IMF සමග ගිවිසුම් අත්සන් කරන්නේ නෑ .

2027 මාර්තු මාසයෙන් පසුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමඟ තවත් අනුප්‍රාප්තික ගිවිසුමකට එළඹීම පිළිබඳව රජය තුළ කිසිදු සාකච්ඡාවක් නොමැති බව කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ අවධාරණය කරයි .

ඊයේ (27) පැවති රූපවාහිනී වැඩසටහනකදී මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඔහු පැවසූවේ වත්මන් රජයේ අරමුණ පවතින ගිවිසුම සාර්ථකව අවසන් කිරීම මිස නව ගිවිසුම් කරා යාම නොවන බවයි.

ලබන වසරේ මාර්තු මාසය වන විට මෙරට අත්‍යවශ්‍ය සියලුම ප්‍රතිව්‍යුහගත කිරීම් සෑහෙන දුරට අවසන් කිරීමට රජය කටයුතු කරන බවත්, ඉන් අනතුරුව තවදුරටත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ගිවිසුම්ගතව සිටීමේ අවශ්‍යතාවක් මතු නොවන බවත් ඔහු පෙන්වා පැවසීය .

වැඩි දුරටත් අදහස් දක්වමින් ඔහු එහිදී මෙලෙස පැවසීය .

“ IMF සමග නව ගිවිසුමක් ගැන කිසිම සාකච්ඡාවක් කරලා නෑ . දැනට එලබ ඇති ගිවිසුම අවසන් කිරීම සඳහා තමයි සාකච්ඡාව අරන් යන්නේ. IMF ගිවිසුම කියන එක මතක් කරගන්න ඕනේ. මේ ඩොලර් දෙන එක විතරක් නෙමෙයි. මේකේ තියෙනවා ෆිස්කල්, Governors, financial වෙනස්කම්. එතකොට ඊළඟ අවුරුද්දේ මාර්තු වෙනකොට අපි සියලුම ප්‍රතිව්‍යුහගත කිරීම් සෑහෙන දුරට ඉවර කරලා තියෙන්නේ. එතකොට එතනින් එහාට තව ගිවිසුමකට යන්න අවශ්‍යතාවයක් නෑ. ”

කෙසේ වෙතත් ශ්‍රි ලංකාව සඳහා වන පස් වන සහ හයවන සමාලෝචන සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලයේ අනුමැතිය ඊයේ හිමිව ඇත . එ අනුව ඉදිරියෙදී තවත් ඩොලර් මිලියන 695 ක මුදලක් ශ්‍රී ලංකාවට හිමිවීමට නියමිතය.