තෙල්දෙණියේ මරා වලදැමූ ඇඟැළුම් සේවිකාවගේ සිරුර සොයාගනී .

තෙල්දෙණිය, රංගල, උඩිස්පත්තුව ප්‍රදේශයේ පදිංචිව සිටි 22 හැවිරිදි තරුණියක ඝාතනය කර අභිරහස් ලෙස වළ දමා තිබියදී රංගල පොලිසිය විසින් සොයාගෙන ඈති බව වාර්තා වේ .

මෙලෙස අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වීරසේකර මුදියන්සේලාගේ වාසනා සඳමාලි නැමැති ඇඟලුම් කර්මාන්තශාලා සේවිකාවකි. රංගල පොලිස් ස්ථානාධිපති, ප්‍රධාන පොලිස් පරීක්ෂක නිශාන්ත ජයරත්න ඇතුළු නිලධාරීන් කණ්ඩායමකට ලද රහසිගත තොරතුරක් මත මෙම අපරාධය අනාවරණය කරගෙන ඇත.

ඒ අනුව ක්‍රියාත්මක වූ පොලිස් කණ්ඩායම අධිකරණ නියෝගයක් ලබාගනිමින්, වළදමා තිබූ තරුණියගේ සිරුර ගොඩ ගැනීමට කටයුතු කර ඇත.

සිද්ධිය වූ ස්ථානයට පැමිණි තෙල්දෙණිය මහේස්ත්‍රාත් කමල් සංජය ජයතිලක ස්ථානීය පරීක්ෂණය සිදුකරන ලද අතර, මළ සිරුර සම්බන්ධයෙන් වන පශ්චාත් මරණ පරීක්ෂණය තෙල්දෙණිය රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරිනී උපුලී බණ්ඩාර සිදුකොට ඒ පිළිබඳ වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස රංගල පොලිස් ස්ථානාධිපතිවරයාට නියෝග කර තිබේ.

රංගල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.