ත්‍රිකුණාමළයේ ගන්සයිට් කඳවුරේ ගැබිනියක් ඇතුළු කාන්තාවන් පස් දෙනෙක් ඝාතනය කරලා.

ත්‍රීකුණාමලයේ පිහිටි නාවික හමුදාවට අයත් ‘ගන්සයිට්’ කඳවුර පිළිබඳ තවත් ආන්දෝලනාත්මක සිදුවීමක් වාර්තා වේ .

2008 සහ 2009 කාලසීමාව තුළ කොළඹ හා තදාසන්න ප්‍රදේශවලින් කප්පම් ලබාගැනීමේ අරමුණින් තරුණයන් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළව සිදුකරන ලද විමර්ශනවලදී මෙම සිදුවීම් පෙළ අනාවරණය කරගන්නට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සමත්ව ඇත .

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ තහවුරු කර ඇත්තේ, අදාළ තරුණයන් ත්‍රීකුණාමලයේ පිහිටි නාවික හමුදාවට අයත් ‘ගන්සයිට්’ කඳවුරේ රඳවාගෙන සිට ඇති බවයි.

එහි බිත්තියක සටහන්ව තිබූ ලිපිනයක් පරීක්ෂා කිරීමේදී, එය පැහැරගැනීමට ලක්වූ ශාන්ත සමරවීර නැමැත්තාගේ අත්අකුරු බවට තහවුරු වී තිබෙනවා.

එම ‘ගන්සයිට්’ කඳවුර තුළ රඳවාගෙන සිටි තරුණයන් 11 දෙනාට අමතරව කාන්තාවන් 6 දෙනෙකු ද නීති විරෝධී ලෙස එහි රඳවාගෙන සිටි බවත්, ඔවුන්ගෙන් 5 දෙනෙකුම ඝාතනය කර ඇති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දී ඇත .

මීට පෙර ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණයේ (B2020/2011, B2863/2008, B2513/2008) ගොනු කර තිබූ මෙම අතුරුදන්වීම් පිළිබඳ නඩු, තොරතුරු නොමැති වීම හේතුවෙන් බහා තබා තිබුණි .

එහෙත් අතුරුදන් වූ බව පැවසුන එම කාන්තාවන් ඝාතනය කර ඇති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දීමෙන් පසු, සිද්ධිය සම්බන්ධ ඉදිරි පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙහි සමූහ මංකොල්ල විමර්ශන අංශය වෙත පවරන ලෙස මහේස්ත්‍රාත්වරයා පොලිස්පතිවරයාට නියෝග කර ඇත .