ශ්‍රී ලංකා නීතීඥ සංගමය සහ ජනාධිපති අනුර කුමාර දිසානායක අතර පැවති සාකච්චාවේදී ජනාධිපතිවරයාගේ අදහස් දැක්වීම පමනක් මාධ්‍යට සහ සමාජ මාධ්‍යට මුදාහැරීම පිළිබඳ විවාදාත්මක තත්ත්වයක් සමාජයේ ඇතිව තිබේ . එවන් පසුබිමකදී එම සාකච්චාවේදී නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය විසින් කළ අදහස් දක්වීමක් සහිත වීඩියෝ පටයක් ප්‍රසිද්ධ කර ඇත .
මෙම වීඩියෝ පටය මගින් යෝජිත සංශෝධනය හේතුවෙන් අධිකරණ පද්ධතියේ ස්වාධීනත්වයට සහ මහජන විශ්වාසයට බරපතළ හානියක් සිදු කරන බව ඔහු ජනාධිපති අනුර දිසානායකට පෙන්වා දෙන අයුරු දැක්වෙයි .
නීතීඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය එහිදී සඳහන් කළේ, අධිකරණයේ ස්වාධීනත්වය යනු හුදෙක් නීතිමය සංකල්පයක් පමණක් නොව, එය මහජන විශ්වාසය මත පදනම් වූවක් බවයි.
එමෙන්ම විනිසුරුවරුන්ගේ ධුර කාලය හෝ විශ්‍රාම වයස වැනි තීරණාත්මක කරුණු දේශපාලන අවශ්‍යතා මත හදිසියේ වෙනස් කිරීම නොකළ යුතු බව ඔහු එහිදී පෙන්වා දෙයි .
“විනිසුරුවරයෙකු පත් කරන විට ඔහුට ස්ථාවර ධුර කාලයක් තිබිය යුතුයි. එය වෙනස් කිරීමෙන් අධිකරණයට ඇඟිලි ගැසීමක් සිදුවන බවට සමාජය තුළ සැකයක් මතු වෙනවා. 2012 වසරේදී ශිරාණි බණ්ඩාරනායක අගවිනිසුරුවරිය ඉවත් කළ අවස්ථාවේදීත් නීතිඥ සංගමය මෙලෙසම ස්වාධීනත්වය වෙනුවෙන් පෙනී සිටියා. අද අප පෙනී සිටින්නේ ද එම ප්‍රතිපත්තිය වෙනුවෙන්මයි,” යනුවෙන් සභාපතිවරයා ප්‍රකාශ කළේය.
මෙරට අධිකරණ පද්ධතියේ පවතින ලක්ෂ 11කට අධික නඩු ප්‍රමාණයෙන් බහුතරයක් මහේස්ත්‍රාත් අධිකරණවල පවතින බවත්, විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීම එම ප්‍රමාදයට විසඳුමක් නොවන බවත් ඔහු පෙන්වා දුන්නේය. ඒ වෙනුවට තාක්ෂණය භාවිත කිරීම සහ යටිතල පහසුකම් දියුණු කිරීම වඩාත් වැදගත් බව ඔහු යෝජනා කරයි .
විශේෂයෙන්ම ලබන දෙසැම්බර් මාසයේදී විශ්‍රාම යාමට නියමිත අගවිනිසුරුවරයා ඇතුළු පිරිසකගේ ධුර කාලය දීර්ඝ කිරීම ඉලක්ක කරගනිමින් මෙම සංශෝධනය ගෙන එන බවට එල්ල වන චෝදනා පිළිබඳව ද ඔහු මෙහිදී කරුණු පැහැදිලි කළේය.