ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය පදනම් ප්‍රසාද ලක්ෂ්‍ය 100කින් ඉහළ නැංවීමට පියවර ගෙන තිබුනද, ජූනි 04 වැනිදායින් අවසන් වූ සතිය තුළ විදේශීය ආයෝජකයින් ඇමෙරිකානු ඩොලර් මිලියන 14.7කට ආසන්න වටිනාකමකින් යුතු ලංකා රජයේ සුරැකුම්පත් අලෙවි කර ඇති බව මහ බැංකු දත්ත පෙන්වා දෙයි.
එම සතිය තුළ පමණක් විදේශිකයන් විසින් රුපියල් මිලියන 4,768ක (ඇ.ඩො. 1 = රු. 325 බැගින් ඩොලර් මිලියන 14.67ක) සුරැකුම්පත් අලෙවි කර ඇත. මේ සමඟ, දේශීය මුදල් ඒකකය අවප්‍රමාණය වීම හමුවේ පසුගිය සති හතර තුළ පමණක් මෙරටින් බැහැරට ගලා ගොස් ඇති මුළු ශුද්ධ විදේශීය ප්‍රාග්ධන ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් මිලියන 65ක් දක්වා ඉහළ ගොස් තිබේ.
ඉල්ලුම මත පදනම් වූ උද්ධමනය පාලනය කිරීම සඳහා මහ බැංකුව විසින් ඉකුත් මැයි 26 වැනිදා සිය ප්‍රධාන ප්‍රතිපත්ති අනුපාතිකය පදනම් ප්‍රසාද ලක්ෂ්‍ය 100කින් ඉහළ නැංවීය. ආර්ථික විශ්ලේෂකයන් අපේක්ෂා කළේ මෙම පොලී අනුපාතික ඉහළ නැංවීමත් සමඟ රජයේ සුරැකුම්පත්වලින් විදේශීය ප්‍රාග්ධනය පිටතට ගලායාම මන්දගාමී වනු ඇති බවයි. කෙසේ වුවද, පසුගිය සතියේ සිදුකළ මෙම පොලී අනුපාතික සංශෝධනය නොතකා, මේ සතිය තුළ ද රුපියලේ අගය තවදුරටත් පහත වැටී ඇත.