ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක කපිල චන්ද්‍රසේන වෙනුවෙන්, රුපියල් මිලියන සියයක ශරීර ඇප තැබීමට ඉදිරිපත් වූ පුද්ගලයින් දෙදෙනා වංචනික ලෙස එම ක්‍රියාව සිදුකිරීම මගින් අධිකරණය නොමග යවා ඇතිබව කෙසෙල්වත්ත පොලිසියේ අපරාධ අංශය ඊයේ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලහිරු සිල්වා හමුවේ පෙන්වා දුන්නේය .
මෙම ඇප කරුවන් දෙදෙනා අවම වශයෙන් කපිල චන්ද්‍රසේන හඳුනන්නේවත් නැති බවත්, රුපියල් 15,000 ක මුදලක් ලබාගෙන ඇපකරුවන් ලෙස ඉදිරිපත්වි ඇති බවත් එහිදී අනාවරණය විය . මොවුන් අධිකරණය නොමග යවා ඇති බවත්, මෙම තත්ත්වය 1997 අංක 30 දරන ඇප පනත යටතේ දඬුවම් ලැබිය යුතු වරදක් බව පොලිසිය අධිකරණය හමුවේ පැවසීය . එම කරුණු සලකා බැලූ අතිරේක මහෙස්ත්‍රාත්වරයා එම සැකකාරුවන් දෙදෙනා ලබන 13 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළේය .
මෙලෙස අධිකරණය නොමග යවමින් කපිල චන්ද්‍රසේන වෙනුවෙන් ඇප තැන්පත් නිසා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණේ අලුත්කඩේ උසාවි සංකීර්ණයට නුදුරු සාංචි ආරච්චිවත්තේ පදිංචි මොහොමඩ් රිස්වාන් සහ මොහොමඩ් ඉර්ෂාන් නමැති සැකකරුවන් දෙදෙනෙකි .
අධිකරණය විසින් සැකකාර කපිල චන්ද්‍රසේනට නියමකර තිබූ රුපියල් ලක්ෂ සියයක ශරීර ඇප දෙක සඳහා තමන් ඉදිරිපත් වූයේ දේවා සහ තිස්ස නමැති පුද්ගලයින් දෙදෙනෙකු කළ ඉල්ලීමක් මත බවත්, ඒ සඳහා තමන් මුදල් ලබාගත් බවත් සැකකරුවන් පොලිසිය හමුවේ පාපොච්චාරණය කර තිබේ .
ඇප පනතේ විධිවිධාන ප්‍රකාරව අවශ්‍ය අවස්ථාවකදී සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට මෙම ඇපකරුවන්ට නොහැකි බවත්, සැකකරු සහ ඇපකරුවන් අතර සම්බන්ධයක් නොමැති බවත් අධිකරණ නිලධාරීන්ට හැඟී ගොස් තිබූ බව පොලිසිය පවසයි . ඒ අනුව සිදු කළ පැමිණිල්ලකට අනුව ඔවුන් ඉදිරිපත් කළ ග්‍රාම නිලධාරී සහතික පරීක්ෂා කර සැකකරුවන් දෙදෙනා කෙසෙල්වත්ත පොලිසිය අත් අඩංගුවට ගෙන ඇත .
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සැකකරුවන් ලබන 13 වනදින දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස නියෝග කළේය . එසේම ඔවුන් ග්‍රාම නිලධාරී සහතික ලබාගත් ආකාරය පිළිබඳව පූර්ණ වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසද අතිරේක මහේස්ත්‍රාත්වරයා පොලිසියට නියෝග කළේය .