රනිල් සහ සමන් ඒකනායකට අධි චෝදනා ගොනුකරනවා

රාජ්‍ය මුදල් අවභාවිතා කිරීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායකට අධි චෝදනා ගොනු කරන බව අතිරේක සොලිසිටර් ජනරාල් දීලිප පිරිස් අධිකරණයට දැනුම් දුන්නේ ය. ඔහු මේ බව පැවසූවේ හිටපු ජනාධිපතිවරයාට එරෙහිව පවරා ඇති නඩුව අද කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදීය .

ලබන ජුලි මස 08 වැනිදා ඊට පියවර ගන්නා බවද පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා අධිකරණයට දැනුම් දී සිටියේය.

මෙම පැමිණිල්ලේ සැකකාරියක ලෙස හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ බිරිඳ වන මෛත්‍රී වික්‍රමසිංහ නම් කරනවාදැයි අධ්‍යයනය කරමින් සිටින බවත් නියොජ්‍ය සොලිස්ටර් ජනරාල් දිළිප පිරිස් මෙහිදී වැඩිදුරටත් කරුණු දක්වමින් සඳහන් කළේ ය .

අදාළ සැකකරුවන්ට එරෙහිව ඇති චෝදනා සම්බන්ධයෙන් කඩිනමින් විමර්ශන අවසන් කරන ලෙසත්, සැකකරුවන්ට එරෙහිව ප්‍රමාණවත් කරුණු තිබේ නම් කඩිනමින් අධි චෝදනා ගොනු කිරීමට පියවර ගන්නා ලෙසත් මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේය .

අද දින (29) හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අධිකරණයේ පෙනී නොසිටි අතර, ඔහු වෙනුවෙන් ජනාධිපති නීතිඥ තිලක් මාරපන කරුණු ඉදිරිපත් කරමින් පැවසුවේ තම සේවාදායකයාගේ අසනීප තත්ත්වය හේතුවෙන් අද දින අධිකරණයේ පෙනී නොසිටින බවයි. මේ වන විට ඇපමත මුදාහැර සිටිනා හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක අද අධිකරණයේ පෙනී සිටියේය .

මෙම නඩුව ජූලි 8 වන්දා යළි කැඳවීමට නියමිතය .