දේශීය මී පැණි නිෂ්පාදනය ඉදිරි වසර කිහිපය තුළදී සිව් ගුණයකින් ඉහළ නැංවීමට සැලසුම් කර ඇතැයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් ආචාර්ය තුෂාර වික්‍රමාරච්චි පවසයි.
ඒ අනුව දැනට මෙට්‍රික් ටොන් 50ක් වන දේශීය සැපයුම මෙට්‍රික් ටොන් 200 දක්වා ඉහළ යන බවත් 17000ක් වන මී පැණි පෙට්ටි ප්‍රමාණය ඉහළ ධාරිතාවයක් කරා යොමු කරන බවත් ඒ ඔහු පැවසුවේය. ඔහු මේ බව පැවසූවේ ගන්නෝරුවේ පැවති ජාත්‍යන්තර බිඟු දින සැමරුමට එක්වෙමිනි .
ජාත්‍යන්තර බිගු දින සැමරුම නිමිත්තෙන් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සංවිධාන කරන ලද බිඟු පා ගමන ගන්නෝරුව සේවා සංස්කරණ අභ්‍යාස ආයතනයේ සිට මහනුවර සහස් උයන දක්වා අද පෙරවරුවේ ගමන් ඇරඹීය. මැයි 20 වන දිනට යෙදෙන බිඟු දින සැමරුම වාරියපොල කෘෂිකර්ම විද්‍යාලීය, මී මැසි සංවර්ධන ඒකකයේ දී පැවැත්වෙන අතර එහි ප්‍රවර්ධන වැඩසටහනක් ලෙස මේ පාගමන සංවිධාන කොට තිබිණි.
මී මැසි පාලනය ප්‍රවර්ධනය කිරීම, එම නිෂ්පාදනයට ගෝචර ශාඛ වර්ග හදුන්වාදීම, පළිබෝධකයන් සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීම ඇතුලුව මී මැසි පාලනය සම්බන්ධයෙන් මහජනයා දැනුවත් කිරීම සම්බන්ධයෙන් මෙම පාගමන පැවැත්විණි.
එහිදී අදහස් දැක්වූ කෘෂිකර්ම අධ්යක්ෂ ජනරාල්වරයා, අප අනුභව කරන ආහාර පිඩු තුනෙන් එකක් මී මැස්සන්ගේ ක්‍රියාවලිය හා සම්බන්ධ වූවක් වන බවත් කෘෂිකර්මාන්ත නිෂ්පාදනයෙන් 35%ක් මී මැස්සන් සහ පරාගන ක්‍රියාවලිය හේතුවෙන් බිහිවූවක් වන බව ද පැවසුවේය. මී මැස්සන් නොමැති නම් ඩොලර් බිලියන 500ක ආදායමක් ලෝකයට අහිමි වන බවත් එය මිනිසා ඇතුලු සමස්ථ ජීවීන්ගේ පැවැත්ම හා ආහාර සුරක්ෂිතතාවට තර්ජනයක් වන බව ද තව දුරටත් පැවසුවේය.
මී මැසි පාලනය සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීම සඳහා පැවැති මෙම පාගමන සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරීන්, කෘෂිකර්ම විද්යාලයල සිසුන්, බිඟු සුරැකුම් සංවිධානවල සාමාජිකයන් ඇතුලු පිරිසක් සහභාගීවූහ.
නදීක දයා බණ්ඩාර – මහනුවර