ලාංකික නාවිකයන් සමග ‘තෙල් නැවක් ‘කුණාටුවට හසුවේ

ශ්‍රී ලාංකික නාවිකයන් 21ක්

ඕමාන මුහුදේදී අනතුරට පත් ඉන්ධන ප්‍රවාහන නෞකාවක සිටි ශ්‍රී ලාංකික නාවිකයන් 21 දෙනකු බේරා ගැනීමට ඉරාන හදිසි සේවා සමත් වී ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරනවා.

කුක් අයිලන්ඩ් ධජය යටතේ මෙම ඉන්ධන ප්‍රවාහන නෞකාව යාත්‍රා කර ඇති බවත් ඉරානයේ ජස්ක් නගරයට කිලෝ මීටර් 50ක් පමණ දුරින් දකුණු මුහුදේදී ඇතිවූ කුණාටු තත්ත්වයක් හේතුවෙන් මෙම නෞකාව අනතුරට පත් වී ඇති බවත් ජස්ක් වරාය සහ සමුද්‍රීය පරිපාලනයේ අධ්‍යක්ෂක මොහොමඩ් අමීන් අමානි ප්‍රකාශ කර තිබෙනවා.

අනතුර පිළිබඳ තොරතුරු දැනගත් වහාම ගලවා ගැනීමේ යාත්‍රාවක් අනතුර සිදුවූ ස්ථානයට පිටත් කර හැරි බවත් එම යාත්‍රාව අනතුරට පත් ඉන්ධන ප්‍රවාහන නෞකාවේ සිටි ශ්‍රී ලාංකික නාවිකයන් 21 දෙනෙකු බේරා ගත් බවත් අධ්‍යක්ෂකවරයා පැවසුවා.

එම ශ්‍රී ලාංකික නාවිකයන් 21 දෙනාගෙන් පස් දෙනෙකුට වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය වූ බවත් ඉරාන හදිසි සේවා මගින් එම නාවිකයන් පස්දෙනාට අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර ලබාදුන් බවත් අධ්‍යක්ෂක අමානි ප්‍රකාශ කර තිබෙනවා.

සමස්තයක් ලෙස නාවිකයන් 21 දෙනා හොඳ කායික සෞඛ්‍ය තත්ත්වයකින් පසුවන බව පැවසිය හැකි යැයි අධ්‍යක්ෂක මොහොමඩ් අමීන් අමානි සඳහන් කර තිබෙනවා.

(IRNA news agency)

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!