පාලිතගේ ශරීරයේ අභ්‍යන්තර ඉන්ද්‍රියන්වලට බරපතළ හානි

හිටපු රාජ්‍ය අමාත්‍යවරයෙකු වූ පාලිත තෙවරප්පෙරුම මහතාගේ මරණය විදුලිසැර වැදීමෙන් ශරීරයේ අභ්‍යන්තර ඉන්ද්‍රියන්වලට සිදුවූ බරපතළ හානි හේතුවෙන් සිදුවූ මරණයක් බව පශ්චාත් මරණ පරීක්ෂණයේදී තහවුරුවී තිබෙනවා.

කළුතර නාගොඩ මහ රෝහලේ අධිකරණ වෛද්‍ය ඒකකයේ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී කේ. එම්. ටී. බී. ගුණතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (17 ) කළුතර නාගොඩ මහ රෝහලේ අධිකරණ වෛද්‍ය ඒකකයේදී පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වුණා.

අනතුරට ලක්වූ යටදොළවත්ත, නවුත්තුඩුව කරම්පෑතර පිහිටි ස්ථානය කළුතර අධිකරණ වෛද්‍ය නිලධාරී විශේෂඥ වෛද්‍ය කේ. එම්. ටී. බී. ගුණතිලක මහතා නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කෙරුණා.

ඔහුගේ බිරිඳ වන අමිතා නාලිංගනී අමරතුංග මහත්මිය විසින් කළුතර ශීක්ෂණ රෝහලේදී මෘත දේහය හඳුනාගන්නා ලැබුවා..

අනතුරුව කළුතර අපරාධ ස්ථාන පරීක්ෂණාගාර නිලධාරීන් අමාත්‍යවරයා අනතුරට ලක්වූ ස්ථානය නිරීක්‍ෂණය කරන ලද අතර, මතුගම අතිරේක මහෙස්ත්‍රාත්වරයා විසින් ස්ථානීය පරීක්ෂණයක්ද සිදු කර තිබෙනවා..

පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකිරීමට පෙර කළුතර ප්‍රධාන මහෙස්ත්‍රාත් නීතා හේමමාලි හාල්පාන්දෙනිය මහත්මිය විසින්ද මෘත දේහය පරීක්ෂා කරනු ලැබුවා.

අමාත්‍යවරයාගේ පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකරන අවස්ථාවේ එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර ඇතුළු එම පක්ෂයේ ක්‍රියාකාරීන් පිරිසක් ද කළුතර ශික්ෂන් රෝහලට පැමිණ සිටියා.

පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීමෙන් අනතුරුව පස්වරු 3.30 ට පමණ මෘත දේහය අමාත්‍යවරයාගේ බිරිඳ වෙත භාරදීමෙන් පසු කළුතර පිහිටි මල් ශාලාවක් වෙත රැගෙන යනු ලැබුවා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!