මානව හිමිකම් කොමිසම සුරේෂ් සලේගේ පැමිණිල්ල විභාග කිරීම අරඹයි .

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේගේ නීතීඥයන් විසින් කරනා ලද පැමිණිල්ල විභාග කිරීමට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිශන් සභාව තීරණය කර ඇත . ඒ අනුව ඊට අදල කරුණු දැක්වීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට මෙම සතිය තුළ එම කොමිසම වෙත කැඳවා ඇති බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ කොමසාරිස් නිමල් ජී. පුංචිහේවා සඳහන් කළේය .

ඒ අනුව පසුගිය දිනවල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ගොස් සුරේෂ් සලේගෙන් ප්‍රකාශයක් සටහන් කරගෙන ඇති අතර ඔහු රඳවා සිටි කුටිය ආසන්නයේ සිටින තවත් සැකකරුවන්ගෙන් ද ප්‍රකාශ සටහන් කරගෙන ඇති බව සඳහන් වේ.

ඊට අමතරව ඊයේ (08) දිනයේ ද සුරේෂ් සලේ පිළිබඳව සොයා බැලීම සඳහා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ නිලධාරීන් පිරිසක් කොළඹ ජාතික රෝහල වෙත ගොස් ඇති බව වාර්තා වේ.

මෙම විමර්ශනවලට අදාළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට පසුගිය සතියේ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වෙත පැමිණෙන ලෙස දැනුම් දී තිබුණ ද ඔවුන් එදිනට පැමිණිය නොහැකි බව දන්වමින් වෙනත් දිනයක් ඉල්ලා තිබුණි.

ඒ අනුව අදාළ විමර්ශන සිදුකරන ස්ථාන භාර නිලධාරීවරයා ඇතුළු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසකට මෙම සතිය තුළ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී ඇත.