අධි ධාරිතා යතුරු පැදි නඩුවෙන් හම්බන්තොට කුරුළු උයනේ හිමිකරු නිදහස්.

අධි ධාරිතාවයෙන් යුත් යතුරුපැදි 11 ක් ඇතුළුව, නීති විරෝධී ලෙස යතුරුපැදි 21 ක් ආනයනය කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි, හම්බන්තොට කුරුළු උද්‍යානයේ හිමිකරු ඇතුළු සැකකරුවන් තිදෙනා නිදහස් කිරීමට හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළේය.

මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ (CCIB) නිලධාරීන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් පැමිණිල්ල තව දුරටත් පවත්වාගෙන යාමට අදහස් නොකරන බව දැනුම් දීමෙන් අනතුරුව අධිකරණය මෙම නියෝගය නිකුත් කරන ලදී.

2025 ජූලි 12 වන දින හම්බන්තොට කුරුළු උද්‍යාන පරිශ්‍රයෙන් රුපියල් මිලියන 250 ක් පමණ වටිනා යතුරුපැදි 21 ක් සමග එහි සේවකයින් දෙදෙනෙකු ද අත්අඩංගුවට ගන්නා ලදි . ඉන් අනතුරුව එම සිද්ධියට අදාලව හම්බන්තොට කුරුළු උද්‍යානයේ හිමිකරු අජිත් ගාල්ලගේ ද අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කරන ලදී.

සැකකරුවන් පසුව ඇප මත නිදහස් කරන ලද අතර, නඩුව හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ විභාග විය. ඒ අනුව අද දින ප්‍රධාන සැකකරු වන හම්බන්තොට කුරුළු උද්‍යානයේ හිමිකරු, ගබඩාකරු සහ තවත් සේවකයෙකු අනවසර යතුරුපැදි ආනයනය කිරීම, සන්තකයේ තබා ගැනීම සහ එකලස් කිරීම ඇතුළු ඔවුන්ට එරෙහිව ගොනු කර ඇති චෝදනාවලින් නිදහස් කරනු ලැබීය