පාස්කු ඉරිදා ප්‍රහාරයට අදාළව රැඳවුම් නියෝග මත පසුවන හිටපු රාජ්‍ය බුද්ධි සේවාවේ ප්‍රධානී සුරේෂ් සලේගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන ජාතික රෝහලේ අධ්යක්ෂවරයා වෙත ඊයේ නියෝග කළේය.
සුරේෂ් සලේට තවදුරටත් නේවාසිකව ප්‍රතිකාර ලබාදීම අවශ්‍යද, නැතහොත් ඔහු රෝහලෙන් පිටත් කළ හැකිද යන්න එම වාර්තාව මගින් පැහැදිළි කළ යුතු බව මහේස්ත්‍රාත්වරයා නිකුත්කළ නිවේදනයේ සඳහන් වෙයි .
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ ඔස්වල්ඩ් පෙරේරා කළ ඉල්ලීමකට අනුව මෙම නියෝගය නිකුත් කෙරිණි.
සුරේෂ් සලේ මාස තුනකට වැඩි කාලයක් ජාතික රෝහලේ පසුවීම හේතුවෙන්, ප්‍රකාශ සටහන් කරගැනීමට විමර්ශකයන්ට නොහැකි වී ඇති බව රජයේ නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් පැවසීය. එමෙන්ම සල්ට සබඳතා ඇති පුද්ගලයන්ගෙන් මේ වන විටත් ප්‍රකාශ ලබාගෙන ඇති අතර, ඉදිරි විමර්ශන කටයුතු තවදුරටත් පවතින බවද ඔහු සඳහන් කළේය.
සලේ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෂවීන්ද්‍ර ප්‍රනාන්දු රෝහල් වාර්තාවක් කැඳවීම සම්බන්ධයෙන් විරුද්ධත්වය පළ නොකළ නමුත්, තම සේවාදායකයාගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව වෛද්‍යවරුන් දැනටමත් උපදෙස් දී ඇති බව පෙන්වා දුන්නේය.
තම සේවාදායකයා ප්‍රකාශයක් ලබාදීමට සුදුසු සෞඛ්‍ය තත්ත්වයක පසුවුවද, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙතෙක් ඔහුගෙන් ප්‍රකාශයක් ලබාගැනීමට උත්සාහ කර නොමැති බවද ඔහු අවධාරණය කළේය.