ශ්‍රී ලංකාව බංකොළොත් වීමට වගකිවයුත්තෝ කවුදැයි මහබැංකු අධිපති හෙළිකරයි.

ශ්‍රී ලංකාව ආර්ථික වශයෙන් බංකොළොත් වීමට මූලික වූ හේතු සහ ඒ පිටුපස පැවති පරිපාලනමය දුර්වලතා බවත් රටේ සැබෑ මූල්‍ය තත්ත්වය පාර්ලිමේන්තුවෙන් සහ ජනාධිපතිවරයාගෙන් සඟවීමට බලධාරීන් කටයුතු කර තිබූ බවත් ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසයි. ඔහු මේ ඔහු මේ බව පැවසූවේ අන්තර්ජාල නාලිකාවක පැවති සාකච්ඡාවකට එක්වෙමිනි .

තමා මහබැංකු අධිපති ධුරය භාර ගන්නා විට රටේ මූල්‍ය තත්ත්වය පිළිබඳ සත්‍ය තොරතුරු එවකට සිටි ජනාධිපතිවරයාගෙන් පවා වසන් කර තිබූ බව ඔහු එහිදී අනාවරණය කළේය .

” මම 2022 අප්‍රේල් මස 08 වැනිදා තමා මහ බැංකු අධිපති ධුරය භාර ගත්තේ . ඒ අවස්ථාවේ ශ්‍රී ලංකාව සතු විදේශ විනිමය සංචිත ප්‍රමාණය ඇමරිකානු ඩොලර් මිලියන 25ක් වැනි අතිශය අවම මට්ටමකට පහත බැස තිබූනා. ඒත් මැයි මසයේ ඩොලර් බිලියන 6 ක ණය වාරික ගෙවන්න තිබුනා ” ඔහු පැවසීය .

තමාට පෙර සිටි මහ බැංකු අධිපතිවරු සහ මුදල් අමාත්‍යවරු රටේ සැබෑ තත්ත්වය ජනාධිපතිවරයාට හෝ පාර්ලිමේන්තුවට වාර්තා කර නොතිබුන බවත්, කිසිදු ප්‍රශ්නයක් නොමැතිව ණය ගෙවිය හැකි බව ඔවුන් පවසා තිබූ බවත් මහබැංකු අධිපතිවරයා පැවසීය . රට තුළ පැවති සැබෑ මූල්‍ය තත්ත්වය වසන් කරමින් කටයුතු කිරීම නිසා රටේ ආර්ථිකය දැඩි අනතුරකට ලක් වූ බව මහබැංකු අධිපතිවරයා සඳහන් කළේය.

ණය ගෙවීම තාවකාලිකව අත්හිටුවීමට තමන් ගත් තීරණය පිළිබඳව විපක්ෂයේ විවේචනයට ලක්වුවද, එය රට මුළුමනින්ම බිඳ වැටීම වැළැක්වීමට තිබූ එකම විකල්පය වූ බව ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසයි .

” ණය නොගෙවීමේ තීරණය ගත්තේ ණය හිමියන්ට දැනුවත් කිරීමෙන් පසුවයි . එදා එහෙම නොකළානම් රට ‘Hard Default’ තත්ත්වයකට පත්වී ජාත්‍යන්තර මූල්‍ය පද්ධතියෙන් මුළුමනින්ම කොන් වෙන්න ඉඩ තිබූනා . ඒ ගත්තේ කැබිනට් මණ්ඩලයේ අනුමැතිය සහ පාර්ලිමේන්තුව දැනුවත් කිරීමෙන් අනතුරුවයි . එය මාගේ තනි තීරණයක් නොවේ.

පෙර සිටි බලධාරීන් රටේ සැබෑ ආර්ථික තත්ත්වය සඟවමින් ණය ගෙවීමට උත්සාහ කිරීම නිසා රටට අත්‍යවශ්‍ය ආහාර, ඖෂධ සහ ඉන්ධන ආනයනයට තිබූ මුදල් පවා අහිමි වුන. වර්තමානයේ රට යම් ස්ථාවර මට්ටමකට පැමිණ ඇත්තේ එම වැරදි නිවැරදි කිරීම සහ විනිවිදභාවයකින් යුතුව කටයුතු කිරීම නිසායි . ” මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ එහිදී පැවසීය .