ජංගම දුරකතනයක් පිළිබඳව ඇතිවූ ආරවුලක් නිසා සිය 11 හැවිරිදි සෙහොයුරිය ඝාතනය කළ බව කියන 14 හැවිරිදි පාසල් සිසුවකු ඒරාවුර් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ඒරාවුර් ප්‍රදේශයේ පදිංචිව සිටි සත්‍යානන්දන් සදීෂා නැමැති 11 හැවිරිදි දැරියකි. මෙම දරුවන්ගේ මව විදේශගතව සිටිනා අතර සිද්ධිය වන අවස්ථාවේ ඔවුන්ගේ පියා ද රැකියාව සඳහා පිට ප්‍රදේශයකට ගොස් තිබේ.
නිවසේ තනිවම සිටි අවස්ථාවේදී සැකකාර 14 හැවිරිදි සිසුවා සිය නැඟණියගෙන් ජංගම දුරකතනය ඉල්ලා ඇති අතර ඇය එය ලබාදීම ප්‍රතික්ෂේප කර ඇත. එහිදි සිදුවූ බහින් බස් වීම නිසා මෙම මරණය සිදුව ඇත . ඝාතනය සිදුකිරීමෙන් අනතුරුව සැකකාර සිසුවා අසල්වැසි නිවසකට ගොස් කාලය ගත කර ඇති බවට ද තොරතුරු හෙළි වී ඇත.
රැකියාව නිමවා එදින නිවසට පැමිණි පියා දරුවන් සොයාබැලීමේදී, සිය දියණිය නානකාමරයේ ඇති ජල ටැංකිය තුළ සිහිසුන්ව වැටී සිටින අයුරු දැක තිබේ. එහිදී දැරියව රෝහල් ගත කළද ඒ වනවිටත් ඇය මියගොස් සිටි බව වාර්තා වේ .
පොලිස් ප්‍රශ්ණ කිරීම් හමුවේ 14 හැවිරිදි සහෝදරයා සිය නැඟණිය ඝාතනය කළ බව පාපොච්චාරණය කර ඇත . අත්අඩංගුවට ගත් සැකකාර පාසල් සිසුවා ඉදිරියේදී මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.