බන්ධනාගාර ගත භික්ෂූන් වහන්සේලා ගේ සිවුරු ගැටළුව නිරාකරණය වෙයි

බන්ධනාගාරගත කරනා බෞද්ධ භික්ෂූන් වහන්සේ නමක් බන්ධනාගාරයෙන් බැහැරට රැගෙන ඒමේදී චීවරය පැළඳ සිටීමට පූර්ණ අවසර හිමිවන බවත් අදාළ නිකායෙන් එසේ නොකරන ලෙස දන්වන තුරු එම අයිතිය නොවෙනස්ව පවතින බවත් අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර පැවසීය .

බන්ධනාගාර ආඥාපනත යටතේ පවතින නීති රෙගුලාසි සහ නිත්‍ය නියෝග යාවත්කාලීන කිරීම සඳහා පත්කළ විශේෂ කමිටුවේ වාර්තාව පිළිබඳ අද(14) මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් අමාත්‍යවරයා මේ බව පැවසීය .

එම කමිටු නිර්දේශ අනුව, බන්ධනාගාර නිත්‍ය නියෝග ‘356’ වෙනුවට ‘356 (අ)’ ලෙස සංශෝධනයක් සහ ‘550’ දෙපාර්තමේන්තු නියෝගය සංශෝධනය කිරීම සඳහා යෝජනා වී තිබෙනවා.

ඒ අනුව යම් භික්ෂූන් වහන්සේ නමක් බන්ධනාගාරගත කිරීමේදී උන්වහන්සේ හැඳ සිටි වස්ත්‍රය ඉවත් කිරීම සම්බන්ධයෙන් බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවට දැනුම්දී පියවර ගැනීම සඳහා බන්ධනාගාර කොමසාරිස්වරයාට දින 10ක කාලයක් හිමිවන බව අමාත්‍යවරයා පෙන්වා දුන්නා.

වෙනත් ආගමක පූජ්‍ය පක්ෂයේ අයෙකු සිරකරුවෙකු වුවහොත් මෙම ප්‍රතිපාදන ඊට අදාළ වන පරිදි වෙනස් කරගත යුතු බවද මෙහිදී පැහැදිලි කෙරුණා.

මීට අමතරව නිත්‍ය නියෝග 550 සංශෝධනය කරමින් සිරකරුවෙකු ලෙස බන්ධනාගාරයෙන් බැහැරට රැගෙන යන අවස්ථාවලදී චීවරය දැරීමට හිමිවන අවසරය, අදාළ නිකායෙන් විරුද්ධත්වයක් නොදක්වන තාක් කල් දිගටම බලපැවැත්වෙන බවද සඳහන වෙයි .

අදාළ කමිටු නිර්දේශවලට අනුව දැනට බලාත්මක නිත්‍ය නියෝග කඩිනමින් සංශෝධනය කිරීමට නියමිත බවත්, ඊට අදාල උපදෙස් බන්ධනාගගර කොමසාරිස්වරයා කඩිනමින් ලබාදෙනු ඇතිබවත් අමාත්‍යවරයා පැවසීය .