පෞද්ගලික වාහන සඳහා 50% ක අධි භාරයක්

පොදු මගී ප්‍රවාහනය සඳහා යොදාගන්නා බස් රථ, භාණ්ඩ ප්‍රවාහන ලොරි රථ, යතුරුපැදි, ත්‍රිරෝද රථ සහ ට්‍රැක්ටර් වැනි ඉඩම් වාහන හැර, පුද්ගලික පරිහරණය සඳහා මෙරටට ආනයනය කරනු ලබන කාර් සහ ජීප් රථ සඳහා පවතින රේගු බද්ද මත 50%ක අධිභාරයක් පනවා ඇතැයි මුදල් ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවීර පැවසීය .

එමෙන්ම කාලීන හා තාක්ෂණික අවශ්‍යතාවලට ගැළපෙන පරිදි සමස්ත රේගු ආඥා පනතම සංශෝධනය කර නව තනි නීතිමය පනතක් කෙටුම්පත් කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් විශේෂ කමිටුවක් පත් කර ඇති බවද ඔහු සඳහන් කළේය . ඔහු මේ බව පැවසූවේ අද (17) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමිනි .

රේගු බදු ක්‍රමයේ වෙනස්කම් සහ වාහන ආනයන බදු පිළිබඳව මාධ්‍යවේදීන් විමසූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවීර මහතා මේ බව කියා සිටියා.

රේගු ආඥා පනත සංශෝධනය කිරීම පිළිබඳව අදහස් දක්වමින් නිශාන්ත ජයවීර මහතා ප්‍රකාශ කළේ, වරින් වර සංශෝධනය වූ පැරණි පනත වෙනුවට නවීන ආනයන ක්‍රමවේද සහ තාක්ෂණික දියුණුවට ගැළපෙන නව පනතක් පත් කළ කමිටුවේ නිර්දේශ මත ඉදිරියේදී සකස් කරන බවයි.

මීට අමතරව රේගු කටයුතු වඩාත් කාර්යක්ෂම කිරීම සඳහා නව ස්කෑනර් යන්ත්‍ර මිලදී ගැනීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇති බව ඔහු පැවසීය.