දිගු කලක් පුරාවට ප්රමාද වී තිබූ චීනය සහ උතුරු කොරියාව යා කෙරෙන නව පාලම විවෘත කළ බව චීන රාජ්ය මාධ්ය වාර්තා කරයි.
උතුරු කොරියාවේ න්යෂ්ටික ආයුධ වැඩසටහන හේතුවෙන් පනවා ඇති දැඩි අන්තර්ජාතික සම්බාධක හමුවේ එම රටට පවතින ප්රධානතම ආර්ථික ශක්තිය මෙන්ම විශාලතම වෙළඳ සහකරුවා වන්නේ ද චීනයයි.
චීනයේ දැන්ඩොං දේශසීමා නගරයේ සිට උතුරු කොරියාවේ සිනුයිජු දක්වා කිලෝමීටර් 3 ක දුරක් පුරා විහිදෙන මෙම නව ‘යාලු නදී පාලම’ දෙරට අතර වෙළඳාම සඳහා වන ප්රධාන ගොඩබිම් මාර්ගය බවට පත්වීමට නියමිතය.
ආරම්භයේදී 2014 වසරේදී විවෘත කිරීමට සැලසුම් කර තිබූ මෙම පාලම, බීජිං සහ පියොංයැං අතර සබඳතා අඩපණ වීමත් සමඟ උතුරු කොරියාව විසින් ඊට අදාළ මාර්ග සහ රේගු පහසුකම් ඉදිකිරීම අත්හිටුවීම හේතුවෙන් දින නියමයක් නොමැතිව කල් දැමුණි.
මෙම නව පාලම, ජපානය විසින් මෙම කලාපය අත්පත් කරගෙන සිටි 1937 සහ 1943 කාලසීමාව තුළ ඉදිකරන ලද දශක ගණනාවක් පැරණි ‘චීන-කොරියානු මිත්රත්ව පාලමට’ විකල්පයක් ලෙස භාවිත කෙරෙනු ඇත.
මෙම පාලම දෙරට අතර සම්බන්ධතාවය උදෙසා වන වැදගත් පහසුකමක් බව චීන විදේශ අමාත්යාංශයේ ප්රකාශිකා මාඕ නින්ග් පැවසූ අතර, මෙම මාර්ගය මගින් වෙළඳාම සහ දෙරට අතර ජනතා සබඳතා තවදුරටත් පහසු කරනු ඇති බව ද ඇය වැඩිදුරටත් සඳහන් කළාය.