කොයිතරම් කෑගැසුවත් වී මිල නැවත ඉහළ දාන්නේ නෑ

වී සඳහා මිල තීරණය කොට ඇත්තේ විද්‍යාත්මක පදනමක් මත බැවින් රුපියල් 120 ක් වන රජයේ නිර්දේශීත මිල යළි ඉහළ නොදමන බව කෘෂිකර්ම, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත පවසයි.

ඇතැම් සංවිධානාත්මක පිරිස් විරෝධතා දක්වමින් වී සඳහා ඉහළ මුදලක් ගෙවන ලෙස ඉල්ලා සිටියත් රජය ප්‍රකාශ කරන ලද මිල වෙනස් නොවන බව අමාත්‍යවරයා කීවේය.

මහනුවර දිස්ත්‍රික්කයේ මාධ්‍යවේදීන් සමග ඊයේ (14) පැවති සාකච්ඡාවකින් අනතුරුව ප්‍රකාශයක් කරමින් අමාත්‍යවරයා මේ බව පැවසීය .

වෙළඳ පොලේ සහල් මිල පහළ මට්ටමක ඇති බව කී අමාත්‍යවරයා එය පාරිභෝගිකයන්ට යහපත් තත්ත්වයක් වී ඇතිබව පෙන්වාදුන්නේය . එමෙන්ම අම්පාර, අනුරාධපුර, පොළොන්නරුව වැනි ප්‍රදේශවල වී අස්වනු නෙළීම ආරම්භ වී ඇති බව කී අමාත්‍යවරයා මහවැලි සී වැනි මහා පරිමාණ වගා කළාප වල ලැබෙන වී අස්වැන්න ඉතා ඉහළ බැවින් ගොවියන්ට රජයේ නිර්දේශිය මුදල සාධාරණ මිලක් යැයි ද පැවසුවේය.

නමුත් ඇතැම් ප්‍රදේශවල ගොවියන් ලබස අස්වැන්න සාපේක්ෂ වශයෙන් අඩුවී තිබුණත් සමස්තයක් වශයෙන් ඉහළ අස්වැන්නක් ලැබෙන බැවින් රජයේ නිර්දේශිත මුදල මෙම යල කන්නය තුළදී ස්ථාවරව පවතින බව අමාත්‍යවරයා පැවසීය .

සංවිධානාත්මක පිරිස් කොතරම් හඬ නැගුවත් රජයේ ප්‍රතිපත්තිය අනුව ප්‍රකාශ කොට ඇති වී සඳහා නිර්දේශිත මුදල කිසිසේත්ම වෙනස් නොකරන බව ඔහු අවධාරණය කළේය .

ජනාධිපතිවරයා සමඟ පැවති සාකච්ඡාවෙන් අනතුරුව දිවයිනේ ප්‍රධාන සහල් මෝල් හිමියන් රජයේ නිර්දේශිත මුදලට වී මිලදී ගැනීමට එකඟ වීම ගොවියන්ට සිදු වූ මහත් අස්වැසිල්ලක් යැයි අමාත්‍යවරයා තවදුරටත් ප්‍රකාශ කළේය. නමුත් පසුගිය පාලන සමයන්හිදී නිසි ක්‍රමවේදයක් අනුගමනය නොකිරීම නිසා වී අස්වනු අලෙවි කිරීමේදී ගොවියන් අසිරුතාවට පත් වන බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

මහනුවර නගරාධිපති චන්ද්‍රසිරි විජේනායකද මෙම අවස්ථාවට එක් විය .

නදීක දයා බණ්ඩාර – මහනුවර සිට.