හිටපු රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානී සුරේෂ් සලේ හට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේදී වද හිංසා කරනා බවට තමන් කළ ප්‍රකාශයට අසත්‍ය බවට පොලිසිය නිකුත් කළ මාධ්‍ය ප්‍රකාශය පිළිබඳව පිවිතුරු හෙළ උරුමය පක්ෂ කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවේ දී එහි නායක නීතිඥ උදය ගම්මන්පිල අදහස් පල කළේය .
තමා කළ ප්‍රකාශ සත්‍ය බව මේවන විට තහවුරුව ඇති බැවින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් තමා බොරු කියනා බව පැවසූ පොලිසියත්, එම ප්‍රකාශයට ප්‍රචාරයක් ලබාදුන් සමාජ මාධ්‍යත් ඒ සම්බන්ධයෙන් සමාව ගත යුතු බවත්, නොඑසේනම් වන්දි ඉල්ලා අධිකරණය හමුවේ නඩු පවරණ බවත් ඔහු එහිදී පැවසීය .
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මිනිසුන්ට වධ හිංසා පැමිනවීමේ ඉතිහාසයක් ඇති බවත්, රහසිගතව මිනිසුන්ට වද දීම ගැන එහි නිළධාරීන් දැනුවත් බවත් ඔහු පැවසීය . එසේ තිබියදී කැමරා 8 ක් ඉදිරියේ සුරේෂ් සලේට වධ දුන්නේ ඒ දර්ශණ කොටි හිතවාදීන්ට අලවි කිරීමටදැයි සැකයක් ඇතිවෙන බවත් ඔහු වැඩි දුරටත් සඳහන් කළේය .
ඔහු කළ අදහස් දක්වීම පහත පලවේ
” 2026 ජූනි මාසේ 6 වෙනිදා අපි මාධ්‍ය හමුවක් පවත්වමින් සුරේෂ් සලේ මැතිතුමාට පොලීසිය විසින් කරනු ලබන වදහිංසා පිළිබඳ රටට හෙළිදරව්වක් කළා. අපි මාධ්‍ය හමුව පවත්වලා පැය කීපයක් ඇතුළත පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනයක් නිකුත් කරමින් මම කියන්නේ බොරුයි කියලා රටට කිව්වා.හැබැයි, මේ වන විට අපි කිව්වේ ඇත්තයි, පොලීසිය කියන්නේ බොරුයි කියන එක හෙළිදරව් වෙලා හමාරයි.
ජූනි 6 වෙනිදා මාධ්‍ය හමුවේදී අපි නිශ්චිත කාරණා හතරක් මතු කරා. පළවෙනි කාරණය තමයි, 13 දෙනෙක් ඉදිරියේ සලේ මැතිතුමාව නිරුවත් කර ගුද මාර්ගය පරීක්ෂා කළා කියන එක. දෙවැනි කාරණය, ඔහුව වාතාශ්‍රය නොමැති අඳුරු කුඩා කාමරයක, අඩි 6×4 කුඩා කාමරයක සිරගත කර ඉන්න බව. තුන්වෙනි කාරණය, ඔහුට නිසි ආහාර ලබා නොදෙන බව. හතරවන කාරණය, ඔහුව නිරුවත් කර පහර දුන් බව.
දැන් මේ කාරණාවලින්, පළවෙනි කාරණය වුණු 13 දෙනෙක් ඉදිරියේ නිරුවත් කර පරීක්ෂා කළා කියන කාරණය තමන් විසින් සිදු කළ බව පොලීසිය විසින් මානව හිමිකම් කොමිසම ඉදිරියේ පිළිගැනීමක් සිදු කරලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි, ඒක සිදුකළ දිනය මාර්තු මාසේ 8 වෙනිදා කියලත් ඒ අය සඳහන් කරලා තියෙනවා.
ඒ වගේම අපි දෙවැනියට සඳහන් කළ වාතාශ්‍රය නොමැති කුඩා කාමරයක, අඳුරු කාමරයක සිරකර සිටියා කියන කාරණය මානව හිමිකම් කොමිසම විසින් කරනු ලැබූ නිරීක්ෂණ චාරිකාවේදී තහවුරු වෙලා තිබෙනවා. ඒ වගේම වෛද්‍ය වාර්තාවේ, ඔහු අඳුරු කාමරයක දිගින් දිගටම සිටිය නිසා සිටීමේ ප්‍රතිඵලයක් වන, හිරු එළියට නිරාවරණය නොවීමේ ප්‍රතිඵලයක් වන විටමින් D ඌනතාවයට මුහුණ දී තිබෙනවාය කියන කාරණය වෛද්‍ය වාර්තාවෙනුත් තහවුරු වෙලා තිබෙනවා. ඒ වගේම, උසින් වැඩි සුරේෂ් සලේ මැතිතුමාව අඩි 6×4 කාමරයක සිර කර සිටි බවත් මානව හිමිකම් කොමිසම තමන්ගේ නිරීක්ෂණ චාරිකාවේදී තහවුරු කරගෙන තිබෙනවා.
එහෙම බැලුවම, අපි සඳහන් කළ තුන්වෙනි කාරණය වන නිසි ආහාර ලබා නොදෙන බවට කළ චෝදනාව අධිකරණ වෛද්‍ය වාර්තාවෙන් තහවුරු වෙලා තිබෙනවා. මොකද ඒ අධිකරණ වෛද්‍ය වාර්තාවේ තියෙනවා සුරේෂ් සලේට ප්‍රමාණවත් ප්‍රෝටීන් ලැබිලා නැහැ, එළවළු ලැබිලා නැහැ, පළතුරු ලැබිලා නැහැ කියන කාරණය.
එතකොට තවම සනාථ නොවුණේ, නිරුවත් කර පහර දුන්නා කියන කාරණය පමණයි. හැබැයි, මේ නිරුවත් කරලා පහර දුන්නා කියන කාරණය පිළිබඳ මතු කළ අවස්ථාවේදීම ඔහුගේ ශරීරය පරීක්ෂා කළා නම් සමහරවිට මේ කාරණය හෙළිදරව් වෙන්න තිබුණා. එහෙමත් නැතිනම් සීසීටීවී (CCTV) දර්ශන පරීක්ෂා කළා නම් හෙළිදරව් වෙන්න තිබුණා.
මම කියන්නේ බොරුයි කියලා පොලීසිය කිව්වම මම පොලීසියට අභියෝග කළා, සුරේෂ් සලේ මැතිතුමා කියනවා තමන්ට හිරිහැර වදහිංසා කළේ සීසීටීවී කැමරා අටක් තියෙන ස්ථානයක කියලා. මේ කියන්නේ බොරු නම්, ඒ කැමරාවල දර්ශන ප්‍රසිද්ධ කරන්නයි කියලා අපි පොලීසියට අභියෝග කළා. හැබැයි මේ වන තෙක් ඒ අභියෝගය භාරගන්න පොලීසිය ඉදිරියට ආවේ නැහැ.
ඇත්තෙන්ම, පොලීසිය මේවා ප්‍රසිද්ධ නොකරන්නේ, සීසීටීවී දර්ශන ප්‍රසිද්ධ කළොත් කාකි සූට් ඇඳගත්ත මැරයන්ගේ ඇඳුම් ගැලවෙන බව, කාකි සූට් පිත්තල බොත්තම් ගැලවෙන බව ඒ අය හොඳටම දන්න නිසා.
ඇත්තෙන්ම දැන් සුරේෂ් සලේ මැතිතුමා කියනවානේ මට වදහිංසා කළේ කැමරා අටක් තිබෙන ස්ථානයක කියලා. සාමාන්‍යයෙන් අපි දන්නවා, පොලීසිය වදහිංසා කරන්නේ කැමරා නැති තැනක. අපරාධකරුවෙක් වුණත් සීසීටීවී කැමරා මඟහරිමින් තමයි ඒ අපරාධය සිද්ධ කරන්නේ. ඇයි දැන් පොලීසිය කැමරා ඉදිරියේ වදහිංසා කළාම, අනාගතයේ යම් දවසක තමන්ට එරෙහිව මේක සාක්ෂියක් විදිහට භාවිත කළ හැකියි කියන කාරණය පොලීසියේ මහත්තුරු, විශේෂයෙන්ම පහරදීමට දිගුකාලීන පළපුරුද්දක් ඇති රහස් පොලීසියේ මහත්තුරු හොඳටම දන්නවා. එහෙමනම්, එවැනි අවදානමක් අරගෙන රහස් පොලීසියේ මහත්තුරු සීසීටීවී කැමරා අටක් ඉදිරියේ මේ වදහිංසා ලබාදීම සිදු කළේ ඇයිද කියන සාධාරණ ප්රශ්නය මතු වෙනවා.
අපි හිතන්නේ, මේක යටි අරමුණකින් කරපු වැඩක්. අපි හොඳටම දන්නවා, සුරේෂ් සලේ මැතිතුමා කියන්නේ කොටි ත්‍රස්තවාදය පරාජය කිරීමට තීරණාත්මක කාර්යභාරයක් කළ, ඒ වගේම මහාචාර්ය රොහාන් ගුණරත්න මැතිතුමාගේ වචන වලින් කියනවා නම් ලෝකයේ කලාතුරකින් බිහිවෙන දුර්ලභ ජාතික වීරයෙක්. ඔහු කොටි ත්‍රස්තවාදය පරාජය කිරීමට කළ තීරණාත්මක දායකත්වය නිසා කොටි හිතවාදීන් ඔහු සමග ඉන්නේ දැඩි වෛරයකින්. ඒ නිසාම, අසාමාන්‍ය ලෙස සීසීටීවී කැමරා අටක් ඉදිරියේ ඔහුට වදහිංසා කළේ පොලීසිය, ඒ සීසීටීවී දර්ශන කොටි හිතවාදීන්ට අලෙවි කිරීමේ යටි අරමුණින්ය කියන සාධාරණ සැකය අපිට මතු වෙනවා. ඒ නිසා තමයි මෙවැනි අවදානමක් පොලීසිය අනිවාර්යයෙන්ම අරගෙන තිබෙන්නේ.
ඒ වගේමයි, ජනාධිපතිවරණයේදී බෙදුම්වාදීන්ගේ ඡන්ද කුට්ටිය හිමිවුණේ මාලිමාවට. බොහෝවිට සල්ලි කුට්ටියකුත් හිමිවෙන්න ඇති අපිට නොකිව්වට. ඒ නිසා අපි මේ මාලිමා ආණ්ඩුවට දිගින් දිගටම බලපෑම් කළා බෙදුම්වාදීන්ට ඔබ ලබාදුන් පොරොන්දු හෙළිදරව් කරන්න කියලා. වසර දෙකකට ආසන්න කාලයක් තිස්සේ අපි ඔවුන්ට බලපෑම් කළත්, අද දක්වා බෙදුම්වාදීන් සහ ඔවුන් අතර ඇතිවෙච්ච රහස් එකඟතාවය හෙළිදරව් කරන්න මාලිමා ආණ්ඩුව අසමත් වෙලා තිබෙනවා. ඒ නිසා, සුරේෂ් සලේ මැතිතුමාට වෙනත් කිසිම රැඳවියකුට නොකරන ආකාරයේ බරපතළ වදහිංසා කරන්නේ, තමන්ට ඡන්දය දුන්නු, සල්ලි දුන්නු, කොටි හිතවාදීන්ට, බෙදුම්වාදී බලවේගයන්ට කළගුණ සලකන්නද කියන ප්රශ්නය අපි මාලිමාවෙන් අහනවා.
ඒ වගේම, බොහෝ වෙලාවට ඒක ඡන්ද පොරොන්දු ඉටුකිරීමක් වෙන්නත් පුළුවන්. සුරේෂ් සලේ මැතිතුමාට වදහිංසා කරනවාය කියන කාරණය අපි රටට හෙළිදරව් කළාම, පොලීසිය හැරෙන තැපෑලෙන් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරලා, අපි කියන්නේ බොරුයි කියලා රටට කිව්වා. දැන් මේ වන විට, පොලීසිය කියන්නේ බොරුව, අපි කිව්වේ ඇත්තක්ය කියන කාරණය අධිකරණ වෛද්‍ය වාර්තා වලිනුත්, මානව හිමිකම් කොමිසමේ විමර්ශන වලිනුත් තහවුරු වෙලා හමාරයි.
ඒ නිසා, වහාම පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනයක් නිකුත් කරලා, අපි ගැන බොරු ප්‍රචාරය කරමින් අපහාස කිරීම පිළිබඳ සමාව ගත යුතුයි. සතියක් ඇතුළත පොලීසිය සමාව ගැනීමට අපොහොසත් වුණොත්, රුපියල් බිලියනයක් වන්දි ඉල්ලා නඩු දාන්න අපි කටයුතු කරනවා.
ඒ වගේම, “අපි කියන්නේ බොරුයි” කියන එක ප්‍රධාන පුවතක් කරගත්ත මාධ්‍ය ආයතන වලටත්, සමාජ මාධ්‍යවේදීන්ගෙනුත් අපි ඉල්ලීමක් කරනවා, අද අපි මේ ප්රවෘත්ති සාකච්ඡාවේ කියන කාරණයට එදා පොලීසියේ බොරු ප්රචාරයට ලබාදුන්න ප්‍රචාරය හා සමාන අයුරින් ප්‍රචාරයක් ලබා නොදුන්නොත්, ඔබටත් එරෙහිව නඩු පැවරීමට සිදුවන බව ඉතාම කනගාටුවෙන් සිහිපත් කරනවා. ”