ගෝලීය බොරතෙල් මිල මෙම වසර අවසානය දක්වා බැරලයක් අමෙරිකානු ඩොලර් 80 ක පමණ මට්ටමක පවත්වා ගතහොත් ශ්‍රී ලංකාවට උද්ධමනය සාර්ථකව කළමනාකරණය කර ගැනීමට හැකි වනු ඇති බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පැවසීය .
ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවරදී විදෙස් මාධ්‍ය ආයතනයක් සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කර ඇත .
“මෙම වසර අවසානය දක්වා තෙල් මිල ඩොලර් 80 ක පමණ මට්ටමක පැවතුනහොත් අපට තත්ත්වය පාලනය කරගත හැකියි. කෙසේ වෙතත්, යම් අනපේක්ෂිත වෙනසක් සිදු වුවහොත් එය පැහැදිලිවම අභියෝගයක් වනු ඇත,” මහ බැංකු අධිපතිවරයා එහිදී පැවසීය .
කෙසේ වෙතත් වසරේ දෙවන භාගයේදී සහ ලබන වසරට පිවිසීමේදී ශ්‍රී ලංකාවේ උද්ධමනය මහ බැංකුව අපේක්ෂා කරනා 5% ඉලක්කය කරා ක්‍රමයෙන් පහළ යනු ඇතැයි මහ බැංකු අධිපතිවරයා සිය විශ්වාසය පලකළේය .
මහ බැංකුව විසින් මැයි මාසයේදී හඳුන්වා දෙන ලද මූල්‍ය ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග මෙන්ම ආනයන පාලනය කිරීම සඳහා රජය ගත් පියවර මෙම තත්ත්වය යහපත් අතට හැරවීමට හේතු වූ බවත්, ගෝලීය අවිනිශ්චිතතාවන් අඛණ්ඩව පැවතුනද, දැඩි මූල්‍ය කොන්දේසි හේතුවෙන් ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනයට අහිතකර බලපෑමක් අපේක්ෂා නොකරන බව මහ බැංකු අධිපතිවරයා සඳහන් කරයි.