ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් අතිගරු සන්තෝෂ් ජා මැතිතුමා 2026 ජූනි 14 වන දින කොළඹ දී පැවති උඩරට අධ්‍යාපන සංවර්ධන සමිතියේ 20 වන සංවත්සර සැමරුම සඳහා සහභාගී විය. ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍ය ගරු රාමලිංගම් චන්ද්‍රසේකර් මැතිතුමා, වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් නියෝජ්‍ය අමාත්‍ය ගරු ප්‍රදීප් සුන්දරලිංගම් මැතිතුමා සහ කොළඹ නගරාධිපතිනි ගරු ව්‍රායි කැලි බල්තසාර් මැතිනිය ද මෙම අවස්ථාවට සහභාගී වූහ.
දශක දෙකක් පුරා උඩරට අධ්‍යාපන සංවර්ධන සමිතිය විසින් සිදු කරන ලද මාහැඟි සේවය වෙනුවෙන් සුභාශිංසන පිරිනැමූ මහ කොමසාරිස්තුමා ඉන්දීය සම්භවයක් සහිත දෙමළ ප්‍රජාවගේ අධ්‍යාපනය ප්‍රවර්ධනය කිරීම සහ එම ප්‍රජාව සවිබල ගැන්වීම සඳහා සමිතිය විසින් ලබා දෙන සුවිශේෂී දායකත්වය අගය කළේය. ඉන්දීය සම්භවයක් සහිත දෙමළ ප්‍රජාවට ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පවතින ඓතිහාසික සහ ශිෂ්ටාචාරමය සබඳතා තුළ විශේෂ ස්ථානයක් හිමි වන බව සඳහන් කළ මහ කොමසාරිස්තුමා එම ප්‍රජාව දෙරට අතර ජීවමාන පාලමක් බව සඳහන් කළේය.
සියලු දෙනා ඇතුළත් වන සංවර්ධනය මෙහෙයවන සාධකයක් ලෙස අධ්‍යාපනය උදෙසා ඉන්දියාවේ කැපවීම අවධාරණය කළ මහ කොමසාරිස්තුමා මෑතකදී, ලංකා වතු කම්කරු අධ්‍යාපන භාර ශිෂ්‍යත්ව වැඩසටහන වැඩි දියුණු කර ඇති බව ද ඒ අනුව ප්‍රතිලාභීන් සංඛ්‍යාව 350 සිට 700 දක්වා දෙගුණ කර ඇති බව ද ලබා දෙන ශිෂ්‍යාධාරය ඉහළ නංවා ඇති බව ද ප්‍රකාශ කළේය. සංස්කෘතික සබඳතා සඳහා ඉන්දියානු කවුන්සිලය (ICCR) විසින් ලබා දෙන ශිෂ්‍යත්ව, ඉන්දියානු තාක්ෂණික සහ ආර්ථික සහයෝගිතා (ITEC) පුහුණු වැඩසටහන් සහ වෙනත් ධාරිතා සංවර්ධන මුලපිරීම් හරහා ඉන්දියාව විසින් ලබා දෙන අඛණ්ඩ සහයෝගය සිහිපත් කළ මහ කොමසාරිස්තුමා එම වැඩසටහන් තුළින් ශ්‍රී ලාංකික සිසුන් සහ වෘත්තිකයන් දහස් ගණනකට ප්රතිලාභ හිමි වී ඇති බව සඳහන් කළේය.
මහ කොමසාරිස්තුමා ඉන්දීය සම්භවයක් සහිත දෙමළ ප්‍රජාව සඳහා ඉන්දීය රජය විසින් ලබා දී ඇති ඉන්දියානු රුපියල් කෝටි 75ක පැකේජය යටතේ ක්‍රියාවට නංවා ඇති විවිධ ව්‍යාපෘතීන්, පාසල් යටිතල පහසුකම් වැඩි දියුණු කිරීම සහ වතුකර පාසල්වල ගුරුවරුන් 2000කට අධික සංඛ්‍යාවක් සඳහා STEM පුහුණුව ලබා දීම යනාදිය ද මෙහිදී සිහිපත් කළේය. එසේම, එතුමා ඉන්දියානු සම්භවයක් සහිත දෙමළ ප්‍රජාව සඳහා වන නිවාස ව්‍යාපෘතිය සහ OCI කාඩ් පහසුකම ශ්‍රී ලංකාවේ වෙසන ඉන්දීය සම්භවයක් සහිත ප්‍රජාවේ පස් වන සහ හය වන පරම්පරා සඳහා ද ව්‍යාප්ත කිරීම සඳහා මෑතක දී ගත් තීරණය සහ ක්‍රමවේද ලිහිල් කිරීම වැනි මුලපිරීම් ද සිහිපත් කළේය.
ශ්‍රී ලංකාව සමඟ ඉන්දියාවේ සංවර්ධන හවුල්කාරිත්වය ජනතා කේන්ද්‍රීය ස්වරූපයකින් අඛණ්ඩව ක්‍රියාත්මක වන බව සඳහන් කළ මහ කොමසාරිස්තුමා ඉන්දීය සම්භවයක් සහිත දෙමළ ප්‍රජාවේ අධ්‍යාපනික සහ සමාජ ආර්ථික දියුණුව උදෙසා ඉන්දියාවේ කැපවීම යළිත් අවධාරණය කළේය. මහ කොමසාරිස්තුමා විසින් ඉන්දීය සම්භවයක් සහිත ප්‍රජාවේ යහපත උදෙසා අධ්‍යාපනය සඳහා සුවිශේෂී දායකත්වයක් ලබා දුන් උඩරට අධ්‍යාපන සංවර්ධන සමිතියේ විශිෂ්ටයන්ට සම්මාන ද පිරිනමන ලදී.