ශ්රී ලංකාවට නොදුරු මුහුදේ ඉන්ධන සහ සැපයුම් නොමැතිව කොටුවී සිටිනා ඉරාන භාණ්ඩ ප්රවහන නෞකාවන්ට උපකාර නොකරන ලෙස ඇමරිකාව නිකුත් කර ඇති අවවාදාත්මක නිවේදනය හේතුවෙන් ශ්රී ලංකාව සහ ඉන්දියාව යන රටවල් දෙකම දැඩි දෙගිඩියාවකට පත්ව සිටිනා බව වාර්තා වේ .
මෙම නෞකාවන්ගේ ඉන්දීය ජාතිකයන්ද සේවය කරනා නිසා වහා මැදිහත්ව ඔවුන් මුදාගන්න ලෙස ඉරානය මේ වන විටත් ඉන්දියාවෙන් ඉල්ලා ඇති බව ජාත්යන්තර මාධ්ය වාර්තා කරයි . එහෙත් මේ දක්වා ඉන්දියාව ඊට සුබදායක ප්රතිචාර දක්වා නැති නමුත්, තම කළාපයේ සිරවී සිටින ඉරාන නෞකාවල සිටින ඉන්දීය ජාතික නාවිකයන්ගේ අවාසනාවන්ත තත්ත්වය නොසලකා හැරීමට ඉන්දියාවට හැකියාවක් නැති බව එම මාධ්ය පවසයි .
තම අනන්ය ආර්ථික කලාපය තුළ සිරවී ඇති මෙම නෞකා සම්බන්ධයෙන් ශ්රී ලංකා රජය මෙතෙක් කිසිදු ප්රකාශයක් සිදු කර නොමැත. මෙම නෞකාවල සේවය කරන පිරිස අතර ඉන්දියානුවන්ට අමතරව බංග්ලාදේශ ජාතිකයෝ ද සිටිති. අන්තර්ජාතික නීතියට අනුව අදාළ රටවල් විසින් මෙම පිරිස් වෙත සහන සැලසීමේ වගකීම ඉටුකළ යුතු බව ඉරානය පැහැදිළිවම පෙන්වා දී ඇත.
ඉරානයේ මෙම ස්ථාවරය ශ්රී ලංකාවේ ඉරාන තානාපති ආචාර්ය අලිරේසා දෙල්කොෂ් විසින් මෑතකදී අවධාරණය කරන ලදී. විශේෂ ප්රකාශයක් කරමින් තානාපති දෙල්කොෂ් පෙන්වා දුන්නේ, එක්සත් ජාතීන්ගේ සමුද්රීය නීති සම්මුතියේ 98 වන වගන්තිය මෙන්ම මුහුදේදී ජීවිත ආරක්ෂා කිරීම පිළිබඳ සම්මුතිය සහ සමුද්රීය සෙවීම් සහ බේරාගැනීම් පිළිබඳ සම්මුතිය යන ජාත්යන්තර සම්මුතීන්ට අනුව, තම අනන්ය ආර්ථික කලාපයේ සිරවී සිටින ඉරාන නෞකාවලට අවශ්ය පහසුකම් සැලසීමෙන් බැහැරවීමට ශ්රී ලංකාවට හැකියාවක් නොමැති බවයි.
මීට මාස කිහිපයකට පෙර බොරතෙල් ගොඩබෑමෙන් පසු ආපසු යමින් සිටි මෙම නෞකා සමූහය දැනට ශ්රී ලංකාවේ අනන්ය ආර්ථික කළාපය තුළ ගාල්ලට සැතපුම් 12 ඈතින් මෙලෙස සිරවී සිටියි . ඉන්ධන, ආහාර සහ ඖෂධ නොමැතිවීමෙන් එම නෞකාවන්ගේ කාර්ය මණ්ඩළ බරපතල ජීවිත තර්ජනයකට ලක්වෙමින් සිටිනා බව ජාත්යන්තර මාධ්ය අඛණ්ඩව වාර්තා කරමින් සිටී .
2026 මාර්තු 04 වන දින, ඉන්දියාවේ සිට ආපසු පැමිණෙමින් තිබූ නිරායුධ ඉරාන යුද නෞකාවකට ගාල්ල වෙරළට නාවික සැතපුම් 19 ක් පමණ ඔබ්බෙන් වූ මුහුදේදී ඇමරිකානු නාවික හමුදාව විසින් ටෝපිඩෝ ප්රහාරයක් එල්ල කර තිබිණි එම ප්රහාරයෙන් ඉරාන ජාතිකයන් 100 කට ආසන්න පිරිසක් ජීවිතක්ෂයට පත් වූහ.