අතුරුදහන් වූ නාවික හමුදා සෙබලාගේ සිරුර දින 20 කට පසු හමුවෙයි .

පසුගිය අගෝස්තු 15 වනදා අඟුලානට නොදුරු මුහුදු ප්‍රදේශයේදී සිදුවූ නාවික හමුදාවේ ප්‍රහාරක යාත්‍රා අනතුරින් අතුරුදන්ව සිටි නාවික හමුදා සාමාජිකයාගේ බවට සැක කෙරෙන මළ සිරුරක් අද (04) පෙරවරුවේ නාවික කිමිදුම්කරුවන් විසින් සොයාගෙන තිබේ.

පසුගිය අගෝස්තු මස 15 වැනි දින නාවිකයින් 12 දෙනකු සමඟ අඟුලාන මුහුදු තීරයේදී මෙම වේග ප්‍රහාරක යාත්‍රාව අනතුරට ලක් විය . එම අවස්ථාවේදී අඟුලාන පොලිසියේ සහ ප්‍රදේශයේ ධීවර ජනතාවගේ සහාය ඇතිව නාවිකයින් 11 දෙනෙකු ක්ෂණිකව මුදවා ගැනීමට කටයුතු කෙරුරිණි.

එහිදී එක නාවික සෙබළෙක් අතුරුදහන් වූ අතර ඔහුගේ සිරුර සොයා නාවික හමුදාව විසින් පානදුරේ සිට කොළඹ හරහා හලාවත දක්වා වන වෙරළ තීරය සහ යාබද මුහුදු සීමාව ආවරණය වන පරිදි අඛණ්ඩ සෝදිසි මෙහෙයුම් මාලාවක් ක්‍රියාත්මක කරනා ලදි .

අද පෙරවරුවේ නාවික කිමිදුම් කණ්ඩායම් විසින් සිදුකරමින් සිටි මෙහෙයුමක් අතරතුරදී මෙම දේහය සොයාගත් බව නාවික හමුදාව තහවුරු කළේය.