රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳ නීති හදන්න අමෙරිකාවේ මැදිහත්වීමක් නෑ

ශ්‍රී ලංකාවේ රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳ නීති සකස් කිරීම සඳහා අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ මැදිහත්වීමක් සිදු වූයේ නැති බව නිවේදනයක් නිකුත් කරමින් මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ, මාධ්‍ය ඒකකයේ පවසනවා.

ඊයේ (15) ශ්‍රී ලංකාවේ ඉංග්‍රීසි පුවත්පතක “ලංකාවේ NGO නීතිය හදන්න ඇමෙරිකාව මැදිහත් වී ඇත” යන සිරස්තලය යටතේ පළ වූ ප්‍රවෘත්තියේ සඳහන් තොරතුරු අසත්‍ය බව දන්වමින් මෙම නිවේදනය නිකුත් කර තිබෙනවා.

එනමුත් රාජ්‍ය නොවන සංවිධාන නීතිය සකස් කිරීම සඳහා මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා හා රාජ්‍ය නොවන සංවිධාන සහ සිවිල් සංවිධාන ජාතික එකමුතුව සමග මීට අදාළව පස් වතාවක් සාකච්ඡාවන් පවත්වා ඇති බව සඳහන්.

නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුව මගින් සකස් කළ අදාළ කෙටුම්පත සදහා ඔවුන්ගේ යෝජනා ද සැලකිල්ලට ගත් බව එම නිවේදනය මගින් පෙන්වා දී තිබෙනවා.

රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳ ජාතික ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් පැවති සාකච්ඡාවකින් අනතුරුව එලෙස සකස් කරන ලද කෙටුම්පත 2023/01/31 දින රාජ්‍ය නොවන සංවිධාන සහ සිවිල් සංවිධාන ජාතික එකමුතුව වෙත ලබා දුන් බවත් එම කෙටුම්පත සම්බන්ධයෙන් ඔවුන්ට තවදුරටත් යෝජනා හා නිරික්ෂණ ඇත්නම් සති තුනක කාලයක් තුළ ලබා දෙන ලෙස ද දැනුම් දුන් බවත් සඳහන්.

එම කෙටුම්පත විවිධ තානාපති කාර්යාල මාධ්‍ය ආයතන, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව මෙන්ම ජාත්‍යන්තර සංවිධාන වෙතද ලබාදීමට කටයුතු කර තිබෙනවා.

ඒ අනුව රාජ්‍ය නොවන සංවිධාන සහ සිවිල් සංවිධාන ජාතික එකමුතුව හා විවිධ සංවිධාන මෙන්ම අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවද මෙම පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ලබා දුන් නිරීක්ෂණ සලකා බලා පනත් කෙටුම්පතට ඇතුළත් කිරීම සඳහා යෝජනාවලියක් නැවත නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුව වෙත යොමු කළ බවද සඳහන් වෙනවා.

ආරක්ෂක අමාත්‍යාංශය එම නිවේදනය මගින් වැඩිදුරටත් පෙන්වා දී තිබෙන්නේ මෙම පනත් කෙටුම්පත සෑදීමේ දී බලපෑමට ලක්වන පාර්ශ්වයන්ගේ සහ එම නීති පිළිබඳ උනන්දුවක් දක්වන පාර්ශවයන්ගේ හා ක්ෂේත්‍රයේ විශේෂඥයන්ගේ ද අදහස් හා යෝජනා සැලකිල්ලට ගත් බවයි.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!