ෆොක්ස් හිල් අනතුරෙන් තුවාල ලැබූ තවත් දැරියක් ජීවිතයෙන් සමුගනී

පසුගියදා දියතලාව ෆොක්ස් හිල් මෝටර් රථ ධාවන තරගය අතරතුර සිදුවු අනතුරෙන් තුවාල ලබා සිටි පාසල් සිසුවිය බදුල්ල මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (15) රාත්‍රියේ ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

එලෙස ජීවිතක්ෂයට පත්වුණේ දියතලාව පොලිස් වසමේ ගල්ඒදණ්ඩ ප්‍රදේශයේ පදිංචිව සිටි සත්දරණී කාවිෂ්කා නම් 16 හැවිරිදි දැරියයි.

2024 ෆොක්ස් හිල් මෝටර් රථ ධාවන තරගාවලිය අප්‍රේල් 21වනදා පෙරවරුවේ දියතලාව නරියාකන්ද ධාවන පථයේ දී ආරම්භ වූ අතර එහිදී සිදුවු මාරක අනතුරින් 7 දෙනෙකුට දිවි අහිමි වුණා.

එහිදී දිවි අහිමි වුණේ ධාවන තරගයේ සහායකවරුන් සිව්දෙනෙකුට සහ තරගය නැරඹීම සඳහා පැමිණ සිටි තිදෙනෙකුටයි.

8 හැවිරිදි වැලිමඩ පදිංචිව සිටි ශිව කුමාර් දිනුෂිකා, 55 හැවිරිදි වැලිමඩ පදිංචිව සිටි මුත්තුසාමි උදයකුමාර්, සීදුවේ පදිංචිව සිටි 19 හැවිරිදි චමත් නිරෝෂන්, අරුණ ශාන්ත උපාලිගමගේ නැමති 62 හැවිරිදි මාතර පදිංචිව සිටි අයෙක්, 20 හැවිරිදි අකුරැස්සේ පදිංචි අසේන් හීනටිගල, රසික අබේනායක සහ 60 හැවිරිදි මාතර පදිංචිව සිටි ගනේෂ් ජයවර්ධන අයට මෙහිදී දිවි අහිමි වුණා.

අවසන් වරට 2019 වර්ෂයේ අප්‍රේල් 21 වන දින මෙම ධාවන තරගාවලිය පවත්වා ඇති අතර පාස්කු ප්‍රහාරය හේතුවෙන් එම තරගය අතරමග නතර කරදැමීමෙන් පසු මෙම තරගාවලිය මෙවර පැවැත්වුණේ වසර 5කට පසුවයි.

අනතුර සම්බන්ධයෙන් දැනට පවතින වීඩියෝ පට සහ ඡායාරූප උපයෝගී කරගනිමින් පරීක්ෂණ කටයුතු සිදුකරන බව යුද හමුදාව සඳහන් කරනවා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!