ත්‍රිකුණාමලය දිස්ත්‍රික් මහ රෝහලේ සිදුවූ දරු ප්‍රසූතියකදී බිලිඳෙකු මියයාමේ සිද්ධියට කිසිදු අවස්ථාවකදී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් ක්‍රියාත්මක කළ වෘත්තිය සමීති ක්‍රියාමාර්ගවල සම්බන්ධයක් නොමැති බව එම සංගමය පවසයි.
අද (11) විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් එම සංගමයේ උප සභාපති, විශේෂඥ වෛද්‍ය චන්දික එපිටකඩුව පැවසූවේ, ප්‍රසුතිකාගාර ප්‍රතිකාර යනු හදිසි ප්‍රතිකාර බැවින් වෘත්තිය සමිති ක්‍රියාමාර්ගවලදී කිසිදු විටකදී වෛද්‍යවරුන් හදිසි ප්රතිකාරවලින් ඉවත් වීමක් සිදුනොකරන බවය.
මේ අතර අදාළ සිදුවීම සම්බන්ධයෙන් යම් පිරිසක් විසින් සිතාමතා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට චෝදනා එල්ල කිරීමට උත්සාහ ගන්නා බවක් පෙනී යන බවත්, අදාළ වෛද්‍යවරුන් වැඩතහනමකට ලක්වූ බව මාධ්‍ය මඟින් දැනගැනීමට ලැබුණද ඒ සම්බන්ධයෙන් ලිඛිත දැනුම්දීමක් මෙතෙක් සිදුකර නොමැති ඔහු සඳහන් කළේය .
එමෙන්ම අදාළ වෛද්‍යවරු රාජකාරිය පැහැරහැරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වුවද ඔවුන් පෞද්ගලික සේවයේ නිරත වී ඇත්තේ, තමන්ගේ සේවා කාලයෙන් පිටත අවස්ථාවක බවද වෛද්‍ය චන්දික එපිටකඩුව පෙන්වාදුන්නේය .
පසුගිය අප්‍රෙල් 9 වෙනිදා ත්‍රිකුණාමලය දිස්ත්‍රික් මහරෝහලේ සිදුවූ දරු ප්‍රසූතියකදී බිලිඳෙකු මියයාමේ සිද්ධියකට අදාළව සෞඛ්‍ය අමාත්‍යාංශය සිදුකළ මූලික විමර්ශනයට අනුව එම රෝහලේ වෛද්‍යවරු දෙදෙනෙකුගේ රාජකාරි වැඩ තහනම් කර ඇත .
ඒ, රාජකාරි කාලසීමාවේ සිය රාජකාරී පැහැරහැරීම සහ පෞද්ගලික සේවාවල නියැලීම ඇතුළු චෝදනා කිහිපයකට අදාළවය. එලෙස වැඩ තහනම් කර ඇත්තේ එම මහරෝහලේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරයෙකු සහ එම රෝහලේ ජ්‍යෙෂ්ඨ නේවාසික වෛද්යවරියකගේය.
අදාළ දරු ප්‍රසූතිය සිදුවන අවස්ථාවේ ඇතිවූ ගැටලුකාරී තත්ත්වයක් මතුවීම හේතුවෙන් සූතිකාගාරයට පැමිණෙන්නැයි රෝහලේ නේවාසික වෛද්‍යවරිය අදාළ විශේෂඥ වෛද්‍යවරයාට සහ වෛද්‍යවරියට අවස්ථා ගණනාවකදී ඇමතුම් ලබාදී ඇතත් ඔවුන් එම අවස්ථාවේ නොපැමිණි බවට ඔවුන්ට එරෙහිව චෝදනා එල්ල වී ඇත.
අදාළ වෛද්‍යවරු දෙදෙනා එම අවස්ථාවේ පෞද්ගලික රෝහලක සිසේරියන් සැත්කමකට සහභාගී වී සිට ඇති බවටත් චෝදනා එල්ල වී තිබූ අතර සෞඛ්‍ය අමාත්‍යාංශය සිද්ධිය සම්බන්ධයෙන් මූලික විමර්ශනයක් සිදුකර ඇත.