මාලි­මාව ජය ලැබුවොත් රටට වෙන දේ ගැන ජන­තාව හිතන්න ඕනී – ජනපති

මාලි­මාව රට පුරා වෛරය වපුරමින් රටේ බලය ලබාගතහොත් අව­සා­නයේදී රටට සිදුවන දේ ගැන ජන­තාව සිතා බැලිය යුතු බව ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහ මහතා පවසනවා.

කැස්බෑව, පිළි­ය­න්දල, සෝම­වීර චන්ද්‍ර­සිරි ක්‍රීඩාං­ග­ණ­යේදී පෙරේදා (12) පැවති ‘රනිල්ට පුළු­වන්’ ජන රැලිය අමතමිනුයි ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ.

විවිධ දේශ­පා­ලන පක්ෂ නියෝ­ජි­ත­යන් රැසක් එම ජනහමුවට එක්ව සිටියා.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා පැවසුවේ ,

“එදා අනුර කුමා­රට භාර දුන් කෘෂි­කර්ම අමාත්‍ය ධුරයේ වග­කීම නිසි ලෙස ඉටු කළා නම් අද රටේ කෘෂි­ක­ර්මා­න්තය දියුණු වී තිබිය යුතුයි. ප්‍රති­ප­ත්ති­ය­කින් තොරව වෛරය පම­ණක් වපු­රන ඔහුගේ වැඩ­පි­ළි­වෙළ රට විනා­ශය කරා ඇද දම­නවා. සියල්ල නොමිලේ දෙන බව කියන සජිත් මේ වන විටත් පරා­ජය පිළි­ගෙන අව­සන්. එබැ­වින් සජිත් ප්‍රේම­දා­සට සහ නාමල් රාජ­ප­ක්ෂට දෙන ඡන්දය අනුර කුමා­රට දෙන ඡන්ද­යක් බව ජන­තාව අම­තක නොකළ යුතුයි.

“ලබන සතිය අව­සන් වන විට ඡන්දය දී තමන්ගේ අනා­ග­තය තීර­ණය කිරී­මට මේ රටේ ජනා­ත­වට අව­ස්ථා­වට ලැබෙ­නවා. ඒ මත ජන­තා­ව­ගේත්, රටේත් අනා­ග­තය තීර­ණය වෙනවා. වසර දෙක­කට පෙර රටේ ජන­තා­වට ආහාර, ඉන්ධන, පොහොර සහ ඖෂධ නොතිබූ අව­ස්ථාවේ මේ එක නාය­ක­යෙ­ක්වත් ජන­තා­වට ආහාර, ඖෂධ, ඉන්ධන, පොහොර දීමට ඉදි­රි­පත් වුණේ නැහැ. එදා ඒ නාය­ක­යන් කොහෙද හිටියේ කියා මම අහ­නවා. අද ජන­තාව ඉදි­රි­යට පැමිණ ඡන්දය ඉල්ලා සිටි­යත් එදා ඔවුන් දකින්න වත් හිටියේ නැහැ. මේ රට දියුණු කිරීමේ සැලස්ම අප ජන­තා­වට ඉරි­පත් කර තිබෙ­නවා. ඒ වගේම ජන­තා­වගේ ජීවන බර සැහැල්ලු කිරී­මට අවශ්‍ය පිය­වර ගෙන තිබෙ­නවා.

“එහෙත් හිටපු කෘෂි­කර්ම ඇමැති අනුර කුමාර කියන්නේ තමන් මේවාට සම්බන්ධ නැති බවයි. අප එළවා, මාලි­මා­වට ඡන්දය දෙන්නැයි ඔවුන් කිය­නවා. මාලි­මා­වට ඡන්දය දුන්නොත් මොකද වෙන්නේ? ඩොල­රය රුපි­යල් 400 දක්වා ඉහළ යනවා. ඩොල­රය රුපි­යල් 370 වන විට දරා­ගන්න බැරි වුණා නම් එය 400–420 වන විට දරා­ගන්න පුළු­වන්ද? කියා සිතිය යුතුයි. ඔවුන්ගේ ප්‍රති­පත්ති ප්‍රකාශ අනුව අය­වැ­යක් හදලා දෙන්නැයි මම කිවුවා. ඔවුන්ගේ අය වැය පර­ත­රය රුපි­යල් බිලි­යන 4,000යි. ඔවුන්ගේ අය වැය අනුව රුපි­යලේ අගය අඩු වෙනවා. එවිට ඩොල­රය රුපි­යල් 420ට යනවා. එවිට මූල්‍ය අර­මු­දලේ සහාය ලැබෙන්නේ නැහැ. අද අනු­රලා කතා කරන්නේ ගණන් වහලා. ඔවුන් ජන­තා­වට ඇත්ත කියන්නේ නැහැ. ‘උන් හොරු, උන් අයින් කරලා දාලා අපි බලය ගන්නවා’ කිය­නවා, ‘අපි හොරු­න්ගෙන් මුදල් අය කර­ග­න්නවා’ කිය­නවා.

“අපි දූෂණ විරෝධි නීතිය ගෙනාවා. මේ කට­යුතු සඳහා එය පම­ණක් ප්‍රමා­ණ­වත් වන්නේ නැහැ. මුදල් නැවත ලබා­ගැ­නී­මට නම් අප තවත් පිය­වර කිහි­ප­යක් ගත යුතුයි. අප­රා­ධ­ය­කින් අත්පත් කර­ගත් දේපළ පිළි­බඳ පනත් කෙටු­ම්පත අප ඉදි­රි­පත් කර තිබෙ­නවා. ඒක සම්මත කර­ගන්නා තෙක් මේ කට­යුතු කරන්න බෑ. ජනතා විමුක්ති පෙර­මුණ හොරු අල්ලන්න භාර දුන් ආනන්ද විජේ­පාල අවු­රුදු තුන­කින් හොයා­ගත්තේ මොන­වාද? ඔහු නඩු දැම්මේ කාටද? කාගේ දේප­ළද ආපසු ගත්තේ? කියා මම අහ­නවා. ඒ නිසා මේ විදි­හට බොරු පොරාන්දු දෙන්න එපා කියලා මම අනුර කුමා­රට කිය­නවා. බදු අඩු කරන බවත් ඔවුන් කිය­නවා. ගෝඨා­භය රාජ­පක්ෂ කරපු දේ ආපසු කරන්න අව­ශ්‍යද? මා කියන්නේ ජන­ප්‍රිය දේවල් නොවෙයි. මා සැම විටම ඇත්ත කිය­නවා. ඒ නිසා මේ අය­වැය පර­ත­රය පිය­වා­ගන්නේ කෙසේද කියා මාලි­මාව රටට කිව යුතුයි.

“ඔබ සිතිය යුත්තේ ඔබේ සහ ඔබේ දරු­වන්ගේ අනා­ග­තය පිළි­බ­ඳ­වයි. නැත් නම් අපේ රටත් ග්‍රීසිය, ආර්ජ­න්ටි­නාව වැනි තත්ත්ව­යට පත් වනවා. එය වළක්වා ගැනී­ම­ටයි මම මේ උත්සාහ කරන්නේ. රටත්, ආර්ථි­ක­යත් බේරා­ගන්න සැප්තැ­ම්බර් 21 දා ගෑස් සිලි­න්ඩ­ර­යට ඡන්දය දෙන ලෙස මම සියලු දෙනා­ගෙන් ඉල්ල­නවා.” යනුවෙනි.