බැංකු තැන්පතු ඉවත් කර ගැනීම වැඩි වෙච්ච හේතුව

වයස අවුරුදු 18 ට අඩු දරුවන්ගේ බැංකු ගිණුම්වල පොලියෙන්ද සියයට දහයක (10%) බදු මුදලක් අය කිරීම හේතුවෙන් දෙමාපියන් දැඩි අසීරුතාවට පත්ව සිටින අතර,වැඩිහිටි බොහෝදෙනකු සිය බැංකු තැන්පතු ඉවත් කර ගැනීම නිසා ඉදිරියේදී බැංකුවලින් ණය නිකුත් කිරීමේදී ගැටලු රැසක් උද්ගත වනු ඇතැයි ආර්ථික විශ්ලේෂකයෝ පවසති.

ආර්ථික ගැටලු මැද සිය දරුවන් වෙනුවෙන් යම් මුදලක් බැංකු ගිණුම්වල තැන්පත් කළද එම ගිණුම්වල පොලියෙන්ද බදු මුදල් අය කිරීම අසාධාරණ බව දෙමාපියෝ පවසති.

මෙලෙස අය කරන බදු මුදල නැවත ප්‍රතිපූර්ණය කිරීමට අදාළව දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් ක්‍රමවේදයක් සකස් කරන බව රජය පැවසුවද, ඉන් සිදුවන්නේ මහජනතාව තවදුරටත් අසීරුතාවට පත්වීම බවද ආර්ථික විශ්ලේෂකයෝ පවසති.

බැංකු ගිණුම්වල පොලියෙන් දැනට සියයට පහක බදු මුදලක් අය කරන අතර, එය දෙගුණ කිරීම හේතුවෙන් බොහෝ දෙනෙකු බැංකු තැන්පතු මේ දිනවල ඉවත් කර ගනිමින් සිටින බව පෞද්ගලික හා රාජ්‍ය බැංකු ආරංචි මාර්ග පවසයි.

මෙලෙස බැංකු තැන්පතු ඉවත්කර ගැනීම හේතුවෙන් බැංකුවල මුදල් අඩුවීම නිසා ණය ලබාදීමේදී අර්බුදකාරී තත්ත්වයක් උද්ගත වනු ඇතැයි ආර්ථික විශ්ලේෂකයෝ පවසති.