ප්‍රමිතියෙන් තොර යතුරුපැදි හිස්වැසුම් (හෙල්මට්) නිෂ්පාදනය, ආනයනය සහ අලෙවිය සම්බන්ධයෙන් වන නීති තදින්ම ක්‍රියාත්මක කිරීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය කටයුතු කරමින් සිටී .
ඒ අනුව SLS ලාංඡනය නොමැති හෙල්මට් නිෂ්පාදනය, ආනයනය, බෙදාහැරීම, ගබඩා කිරීම, ප්‍රදර්ශනය කිරීම මෙන්ම අලෙවි කිරීමද සම්පූර්ණයෙන්ම නීතිවිරෝධී බව පාරිභෝගික කටයුතු අධිකාරිය සිය නිළ ෆේස්බුක් ගිණුමේ සඳහන් කර ඇත .
2015 ජූලි 16 දිනැති අංක 1923/65 අතිවිශේෂ ගැසට් පත්‍රයේ 59 වන විධානයට අනුව ශ්‍රී ලංකාවේ භාවිත වන සියලුම යතුරුපැදි හිස්වැසුම් සඳහා SLS 517 ප්‍රමිතිය සහිත SLS සහතික ලාංඡනය තිබීම අනිවාර්ය කර ඇත .
පසුගිය 27 වැනිදා දිවයින පුරා සිදුකළ විශේෂ වැටලීම් 98 කදී SLS ලාංඡනය නොමැති හෙල්මට් 431කට අධික ප්‍රමාණයක් පාරොභෝගික අධිකාරිය සිය භාරයට ගෙන ඇත . ඊට අමතරව ආරක්ෂිත හෙල්මට් නිෂ්පාදනය සඳහා ලබාගෙන තිබූ SLS බලපත්‍රය නිසිකලට අළුත් නොකර එම කාල සීමාවෙ නිෂ්පාදනය කරන ලද හෙල්මට් 3250 ක අලවියද තහනම් කර ඇත .
යතුරුපැදි හිස්වැසුමක් මිලදී ගැනීමට පෙර එහි SLS ලාංඡනය තිබේදැයි පරීක්ෂා කර බලන ලෙසත්, ප්‍රමිතියෙන් තොර හෙල්මට් නිෂ්පාදනය කරන හෝ අලෙවි කරන පුද්ගලයන් සහ ආයතන පිළිබඳව යම් තොරතුරක් වෙතොත්, කාර්යාල වේලාවන් තුළ 1977 කෙටි දුරකථන අංකයට දැනුම් දෙන ලෙසත් පාරිභෝගික අධිකාරිය ඉල්ලා සිටී .