කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ දී චීන ජාතික කාන්තාවක් ඇයගේ කුඩා දියණිය, මෙතෙක් කලක් බලා ගත් ශ්රී ලාංකික සේවිකාවට භාර දී, ආපසු පළා යමින්, ඇය ගුවන් යානය වෙත පිවිසීමට සූදානම් වෙමින් සිටිය දී ඊයේ (12) රාත්රී අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ කටුනායක ගුවන් තොටුපොළ පොලිසියේ නිලධාරීන් පිරිසක් විසින්.
35 හැවිරිදි චීන ජාතික කාන්තාවක් වන දරුවාගේ මව සහ ඇයගේ 58 හැවිරිදි මව සමග ඩුබායි හි කුළී පදනමට ලබා ගත් නිවෙසක වාසය කර ඇති බවයි වාර්තා වන්නේ.
ඇය දියණියන් දෙදෙනෙකු සිටින අතර එයින් වයස අවුරුදු 03 යි මාස 06ක් වන බාළ දියණිය, ඇය බලා ගැනීමට සිට ඇත්තේ ශ්රී ලාංකික සේවිකාවක් වන අතර ඇයට දැඩි ලෙන්ගතුකමක් එම කුඩා දරුවා විසින් දක්වා තිබෙනවා.
මෙම ශ්රී ලාංකික සේවිකාව කුරුණෑගල, පොල්ගහවෙළ, පොතුහැර ප්රදේශයේ පදිංචි 53 හැවිරිදි කාන්තාවක්.
ඇය පසුගිය දා තම සේවා කාල අවසන්ව යළිත් ශ්රී ලංකාවට පැමිණ තිබෙන අතර, මෙම වෙන්වීමෙන් චීන ජාතික කුඩා දැරිය මහත් අපහසුතාවයට පත් වී සිටි බැවින් ඇය අස්වසාලන්නට නොහැකි තත්වයකට මෙම චීන ජාතික මව පත් වී තිබෙන බවයි වාර්තා වන්නේ.
මේ කිසිවක් සදහන් නොකළ මෙම චීන කාන්තාව, ශ්රී ලාංකික සේවිකාව අමතා, තමන් ශ්රී ලංකාවේ සංචාරයක් සඳහා පැමිණෙන බවත්, ඔවුන් රැගෙන යාම සදහා කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණෙන ලෙසත් දන්වා තිබෙනවා.
ඒ අනුව ඇය පිළිගැනීම සඳහා මෙම සේවිකාව කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබූ අතර, මෙම චීන ජාතික කාන්තාව, ඇයගේ මව සහ බාළ දියණිය රැගෙන පෙරේදා (11) දින රාත්රී 10.30ට ඩුබායි සිට ෆ්ලයි ඩුබායි ගුවන් සේවයේ ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ ඇති බව වාර්ත වනවා.
කටුනායක ගුවන් තොටුපොළේ දී මොවුන් මුණ ගැසී ඇති අතර, මද වේලාවක් සතුටු සාමීචියේ යෙදී සිටි චීන ජාතික කාන්තාව, ඇයගේ බාළ දියණිය ශ්රී ලාංකික සේවිකාව අතට දී එකවර ම ගුවන් තොටුපොළෙන් අතුරුදහන් වී බූ අතර ඒ පිළිබඳ වහා ම කටුනායක ගුවන් තොටුපොළ පොලිසිය දැනුවත් කිරීමට අදාළ ශ්රී ලාංකික සේවිකාව පියවර ගෙන තිබුණා.
ඒ අනුව මෙම කාන්තාව සහ කුඩා දැරිය මීගමුව මහ රෝහල වෙත යොමු කිරීමට පියවර ගත් කටුනායක ගුවන් තොටුපොළ පොලිසිය ඊයේ (12) රාත්රී යළිත් ඩුබායි බලා යාමට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටි මෙම චීන ජාතික කාන්තාව සහ ඇයගේ මව අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මේ වනවිට මෙම චීන ජාතික කාන්තාවන් දෙදෙනා මීගමුව මහේස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට රැගෙන ගොස් තිබෙන බවයි වාර්තා වන්නේ.