ඉන්ධන බෙදාහැරීම අඩාල කළ සමාගම් වලට නඩු .

මේ දිනවල පවතින ඉන්ධන හිඟයට හේතුව ඉන්ධන බෙදාහාරිනා පෞද්ගලික සමාගම් සිය සැපයුම් අඩාල කිරීම බව ගැන බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක පවසයි . පාර්ලිමේන්තුවේදී ඊයේ ඔහු පැවසූවේ ලෝක වෙළඳපොළ මිල ගණන්වලට අනුකූලව දේශීය ඉන්ධන මිල ඉහළ නංවන ලෙස ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක ඉන්ධන සමාගම් ඉල්ලා සිටි නමුත්, එම ඉල්ලීම ඉටුකිරීමට රජයට නොහැකි බවය.

එම තත්ත්වය සළකා බලා ඩීසල් ලීටරයක් සඳහා රුපියල් 70ක සහනයක් මාස තුනක කාලයකට ලබාදීමට පියවර ගත් බවත්, වර්තමාන ලෝක ඉන්ධන මිල ඉහළ එම් හමුවේ එම සහනය ප්‍රමානවත් නොවීම හේතුවෙන් දේශීය වෙළඳපොළට ඉන්ධන සැපයීම සීමා කිරීමට සිදුවන බව සමාගම් දැනුම් දී ඇති බව අමාත්‍යවරයා සඳහන් කළේය .

කෙසේ වෙතත් පෞද්ගලික ඉන්ධන සමාගම් පිරවුම්හල් වෙත ඉන්ධන බෙදාහැරීම අඛණ්ඩව සීමා කරන්නේ නම්, ඛනිජ තෙල් පනත සහ අමාත්‍යාංශයට පැවරී ඇති බලතල ප්‍රකාරව ගතහැකි නීතිමය ක්‍රියාමාර්ග පිළිබඳව නීතිපති උපදෙස් ලබාගන්නා බව ඔහු සඳහන් කළේය .

නොදුරේදීම ඉන්ධන සමාගම් නියෝජිතයන් සමග සාකච්ඡා පැවැත්වීමට නියමිත බවත්, එහිදී අදාළ සමාගම් එකඟතාවකට පැමිණීමට අපොහොසත් වී තවදුරටත් බෙදාහැරීම් සීමා කරන්නේ නම් ඉදිරි පියවර ගැනීමට තීරණය කරන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.