තැන්පතු බාරගත් සමාගම් හයක කටයුතු මහ බැංකුව අත්හිටවයි

2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනතෙහි 44 වන වගන්තියේ විධිවිධාන අනුව, ශ්‍රී ලංකා මහ බැංකුවේ බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා විසින් සමාගම් හයක ව්‍යාපාරික කටයුතු අත්හිටවමින් නියෝගයක් නිකුත් කර ඇත .

කසාගල ග්‍රීන් ප්ලාන්ටේෂන් (ප්‍රයිවට්) ලිමිටඩ් , සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් (ප්‍රයිවට්) ලිමිටඩ්, සිංහ කැපිටල් ඉන්වෙස්ට්මන්ට් ලිමිටඩ්, ප්‍රෝ ෂොප් ඇඩ්වර්ටයිසින් හෝල්ඩින්ග්ස් (ප්‍රයිවට්) ලිමිටඩ්, ඇතැන්ස් ඉන්ටර්නැෂනල් එඩියුකේෂන් සෙන්ටර් (ප්‍රයිවට්) ලිමිටඩ්, ඉයෝන් ලංකා ඉන්වෙස්ට්මන්ට් ඇන්ඩ් ෆිල්ම් ප්‍රොඩක්ෂන් ඉන්ටර්නැෂනල් කම්පැනි (ප්‍රයිවට්) ලිමිටඩ් යන සමාගම් හයේ ව්‍යාපාරික කටයුතු මෙලෙස අත් හිටවා ඇත .

ඉහත සඳහන් ආයතන සහ ඒවායේ අධ්‍යක්ෂවරුන් සතු සියලු දේපළ හා අනෙකුත් වත්කම් බැහැර කිරීම, පැවරීම හෝ වෙනත් ආකාරයකින් ගණුදෙනු කිරීම එකී නියෝගය මගින් වළක්වා ඇත. මුදල් ව්‍යාපාර පනතෙහි 42 වන වගන්තිය යටතේ මේ වන විට විමර්ශන සිදු කෙරෙමින් පවතී.

මෙම ආයතන මුදල් ව්‍යාපාර පනතෙහි 2 වන වගන්තියේ විධිවිධාන උල්ලංඝනය කරමින් මුදල් ව්‍යාපාර සිදු කර ඇති බව සහ/හෝ තැන්පතු භාරගෙන ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් දැනටමත් තීරණය කර ඇත.

තමන් විසින් මහත් පරිශ්‍රමයෙන් උපයාගත් මුදල් අහිමි වීමට ඉඩ ඇති බැවින්, තම මුදල් නීත්‍යානුකූල අවසරලත් ආයතනවල පමණක් තැන්පත් කරන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මහජනතාව වෙත අවධාරණය කර සිටී.

1988 අංක 30 දරන බැංකු පනත යටතේ හෝ 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුව වෙතින් බලපත්‍ර ලබා ඇති හෝ එම පනත්වල විධිවිධානවලින් විශේෂයෙන් නිදහස් කර ඇති ආයතන හෝ පුද්ගලයන්ට පමණක් මහජනතාවගෙන් තැන්පතු භාර ගැනීමට අවසර ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මහජනතාව වෙත තවදුරටත් දැනුම් දෙනු ලබයි.