දුම්රිය වර්ජනය ගැන අදත් කථා දෙකක්

දුම්රිය දෙපාර්තමේන්තුවේ සාමාන්‍යාධිකාරීවරයා ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් දුම්රිය වෘත්තීය සමිති ආරම්භ කළ සංකේත වැඩවර්ජනය අදත් ක්‍රියාත්මක බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පවසයි.

එහි සභාපති සුමේධ සෝමරත්න සඳහන් කළේ, ඊයේ ආරම්භ කළ වෘත්තීය ක්‍රියාමාර්ගය අද මධ්‍යම රාත්‍රී 12 දක්වා ක්‍රියාත්මක කරන බවයි.

දුම්රිය දෙපාර්තමේන්තුවේ පවතින අකාර්යක්ෂමතාවන් සම්බන්ධයෙන් අවස්ථා ගණනාවකදී කරුණු ඉදිරිපත් කළද, ඒ සඳහා නිසි ප්‍රතිචාරයක් නොලැබීම හේතුවෙන් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ගත් බවද ඔහු පැවසීය.

කෙසේවෙතත්, දුම්රිය ගමනාගමන අධිකාරී අසංක සමරසිංහ මහතා පැවසුවේ වෘත්තීය සමිති වැඩවර්ජනයක නිරත වුවද, අද දිනයේ දුම්රිය ධාවනය සාමාන්‍ය පරිදි සිදු කිරීමට කටයුතු කර ඇති බවය.

ඒ අනුව සියලුම කාර්යාල දුම්රිය අද උදෑසන සහ සවස ධාවනය කිරීමට සැලසුම් කර ඇති බව ඔහු සඳහන් කළේය.