පොදුරාජ්‍ය මණ්ඩළීය නීතීඥ සංගමයේ මතය අපි පිළිගන්නේ නෑ .

පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥවරුන්ගේ සංගමයේ සභාපති ස්ටීවන් තිරු විසින් 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් නිකුත් කර ඇති විවේචනාත්මක වාර්තාව රජය පිළිගන්නේද යන පැනයට අමාත්‍ය විජිත හේරත් පිළිතුරු දෙයි .

ඊට පිළිතුරු දෙමින් ඔහු පැවසූවේ තම රජය පිළිගනු ලබන්නේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදෙන තීන්දුව පමණක් බවත් , 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව කඩිනමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බවත් ය .

එහිදී අදාළ සංශෝධනය සම්බන්ධයෙන් ජනමත විචාරණයක් අවශ්‍ය වේද, නැතහොත් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයකින් පමණක් එය සම්මත කළ හැකිද යන්න පිළිබඳවද අමාත්‍ය විජිත හේරත් සිය අදහස් දැක්වීය .

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නීතිය පිළිබඳ අවබෝධයක් ඇති ඕනෑම අයෙකුට ජනමත විචාරණයකට යොමු කළ යුතු සහ නොයොමු කළ යුතු වගන්ති පිළිබඳව පැහැදිලි අවබෝධයක් ලබාගත හැකි බවත්, 22 වැනි සංශෝධනය සම්බන්ධයෙන් ජනමත විචාරණයක් පැවැත්විය යුතුද නැද්ද යන්න පිළිබඳ අවසන් තීරණය ගත හැක්කේ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව ලැබීමෙන් පසුව බවත් ඔහු සඳහන් කළේය .

ඊයේ පැවති කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්ණවලට පිළිතුරු දෙමින් ඔහු මේ බව පැවසීය .