“පූර්ණ විනිසුරු මඩුල්ලක් පත් නොකිරීම කනගාටුදායකයි.” CLA සභාපති ස්ටීවන් තිරූ

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහි පෙත්සම් විභාගයේ දී පෙත්සම්කරුවන්ගේ නීතිඥවරුන්ට, පිළිතුරුදීමට අවශ්‍ය වූ නමුත් ඔවුන්ට අවස්ථාවක් නොලැබුණු බව පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමයේ (CLA) සභාපති ස්ටීවන් තිරූ පැවසීය .

ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව ගොනුකර තිබූ පෙත්සම් විභාගයට නිරීක්ෂකයෙක් ලෙස සහභාගී වූ ඔහු මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා සිටියේ, එම සිදුවීම ඉතාමත් කණගාටුදායකය බවය.

එමෙන්ම පෙත්සම් විභාග කිරීම සඳහා පූර්ණ විනිසුරු මඬුල්ලක් පත් නොකිරීම සම්බන්ධයෙන්ද ස්ටීවන් තිරූ මෙහිදී අදහස් දැක්වීය.

අධිකරණයේ ස්වාධීනත්වයට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අතිශය වැදගත් වන මෙවැනි කරුණක් විභාග කිරීමට පූර්ණ විනිසුරු මඬුල්ලක් (Full Bench) පත් නොකිරීම පිළිබඳව ශ්‍රී ලංකා නීතිඥ ප්‍රජාව අතර දැඩි කතාබහක් නිර්මාණය වී ඇති බවද ඔහු පැවසීය .

සාමාන්‍යයෙන් මෙවැනි වැදගත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාමය කරුණු විභාග කිරීම සඳහා විශාල විනිසුරු මඬුල්ලක් පත් කරනු ලබන නමුත්, මෙම නඩුව සඳහා පූර්ණ විනිසුරු මඬුල්ලක් ලබා දෙන ලෙස කළ ඉල්ලීම ප්‍රතික්ෂේප වී ඇති බව තමාට දැනගන්නට ලැබුණු බව සඳහන් කළ පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමයේ (CLA) සභාපති ස්ටීවන් තිරූ මෙවැනි තීරණාත්මක නඩුවක් සඳහා පූර්ණ විනිසුරු මඬුල්ලක් නොදීමට හේතු වූ කරුණු කවරේදැයි ප්‍රශ්න කළේය . එමෙන්ම මෙම තත්ත්වය ඉතා කණගාටු දායක බවත් අධිකරණයේ ස්වාධීනත්වය හමුවේ මතුවන බරපතළ ගැටලුවක් බවත් ඔහු පෙන්වා දුන්නේය.

මෙහිදී තවදුරටත් අදහස් දක්වමින් ඔහු මෙලෙස සඳහන් කළේය.

“මං අද ආවේ මේ නීති කෘත්‍ය බලන්න. අප විසින් සිදුකළ නිරීක්ෂණයන් පදනම් කරගනිමින් අපි වාර්තාවක් සකස් කරනවා. විනිසුරුවරුන් අද දවස පුරාම ඉතා ඉවසීමෙන් යුක්තව මෙම නීති කෘත්‍ය හැසුරුවා. ඔවුන් නීතිඥයින්ට කරුණු දැක්වීම සඳහා ප්‍රමාණවත් කාලයක් ලබා දුන්නා.

කෙසේ වෙතත් අවසානයේ සිදුවූ දේ එක ඉතාමත් කනගාටුදායකයි. පෙත්සම්කරුවන්ට, නීතිඥවරුන්ට පිළිතුරුදීමට අවශ්‍ය වූ නමුත් ඔවුන්ට අවස්ථාවක් ලබාදුන්නේ නැහැ. ඔවුන්ට කිව්වා ලිඛිතව කරුණු දැක්වීමක් සිදුකරන්න කියලා.

බොහොමයක් අධිකරණ ක්‍රියාවලිවලදී ඒක ඒතරම් සුලබ දෙයක් නෙමෙයි. විශේෂයෙන්ම මේවගේ වැදගත් නඩුවලදී වාචික පිළිතුරුදීමේ අයිතිය සාමාන්‍යයෙන් ලබාදෙනවා.

ඉතින් මට හිතෙනවා ඒක හරිම කනගාටුදායකයි කියලා. අපේ අදහස නම් ඔවුන්ට පිළිතුරුදීමට අවස්ථාවක් ලබාදිය යුතුව තිබුනා .

මම මෙතන නීතිඥ සංගමයේ සාමාජිකයන්ගෙන් දැනගත් දේ තමයි, මෙතන පූර්ණ විනිසුරු මඩුල්ලක් සිටියේ නැහැ. මොකද මේක ඉතාමත් වැදගත් නීති කෘත්‍යයක්.

සාමාන්‍යයෙන් මේ වගේ අවස්ථාවක පූර්ණ විනිසුරු මඬුල්ලක් ඉන්න ඕන. මට කිව්වා ඔවුන්, ඔවුන්ගේ ඒ ඉල්ලීම ප්‍රතික්ෂේප කරා කියලා. එතන ගැටලුවක් තියෙනවා පූර්ණ විනිසුරු මඬුල්ලක් පත් නොකළේ ඇයි කියලා.

ඒ නිසා එය ආරක්ෂා විය යුතුයි. සියලුම නීති තර්ක පැත්තකින් තියමු. අධිකරණයේ ස්වාධිනත්වය පළුදුවීමට යම් පියවරක් අරගෙන තියෙනවා නම් එය ඉවත් කළ යුතුයි. එම සැකය දිගටම පවතිනවා නම් තීතිය ගැන තර්ක කිරීමෙන් ප්‍රයෝජනයක් නැහැ…” යැයි පැවසීය.