22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ඉදිරිපත් කෙරුණු පෙත්සම් සලකා බැලීමට පූර්ණ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් පත්කිරීමේ ඉල්ලීම අගවිනිසුරුවරයා ඇතුළු පංච පුද්ගල විනිසුරු මඩුල්ල විසින් අද (01) ප්‍රතික්ෂේප කරනු ලැබීය.
ඒ 22 වැනි සංශෝධනය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කෙරුණු පෙත්සම් 67 සලකාබැලීම අද ආරම්භ වූ අවස්ථාවේදීය. අගවිනිසුරු ප්‍රීති පද්මන් සුරසේනගේ සභාපතීත්වයෙන් යුත් පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලට අචල වෙංගප්පුලි, අර්ජුන ඔබේසේකර, සම්පත් අබේකෝන් සහ ගිහාන් කුලතුංග යන විනිසුරුවරු ඇතුළත් වෙති .
එහිදී ඉදිරිපත් වුණු සියලු කරුණු සලකා බැලූ විනිසුරු මඩුල්ල පවතින පංච පුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේම පෙත්සම් සලකා බලන බවට වන නියෝගය ප්‍රකාශයට පත්කළේය.
උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සම්බන්ධයෙන් වන 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ගැසට් කිරීමෙන් සතියකට පසු එනම් ඉකුත් අගොස්තු 18 වැනිදා එය පළමුවර කියවීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීය.
ඉන් පසු එහි ව්‍යවස්ථානුකූලභාවය අභියෝගයට ලක්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් ඉදිරිපත් කිරීම සඳහා දෙසතියක කාලයක් හිමිවූ අතර එම කාලය ඊයේ දිනයෙන් අවසන් විය.
ඒ අනුව 22 වන සංශෝධනය අභියෝගයට ලක්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සම් 67 ක් ගොනුකර ඇත.
ඒ අතරින් පෙත්සම් 41ක් මාර්ගගත ක්‍රමයට ගොනුකර තිබීම ද විශේෂත්වයකි.
ඊට අමතරව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන අධිකරණ සංවිධාන සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනුකර තිබෙන පෙත්සම් සංඛ්‍යාව 05 කි.
මෙම පෙත්සම් සම්බන්ධයෙන් කරුණු දක්වන ලෙස දන්වා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඊයේ සවස නීතිපතිවරයා වෙත නොතිසි යවා තිබේ.
එලෙස 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කෙරුණු පෙත්සම් අද පෙරවරුවේ සලකා බැලීම ආරම්භ විය.