මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ වර්ජනයට තවමත් විසඳුම් නෑ .

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය අද (24) පෙරවරු 8.00 සිට සිය වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය දැඩි කිරීමට තීරණය කළ බව එම සංගමය පවසයි .

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ සෞඛ්‍ය කාර්යාලයේ සිදුවන අනීතික ක්‍රියාවලට එරෙහි වීම හේතුවෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂක බී.එච්. මිගස්දෙනිය ස්ථානමාරු කිරීමට එරෙහිව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය විසින් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය පසුගිය සතියේ ආරම්භ කරනා ලද අතර ඊට මේ දක්වා සෞඛ්‍ය අමාත්‍යංශයෙන් නිසි ප්‍රතිචාරයක් ලැබී නැතිබව වාර්තා වේ .

ඒ අනුව, සංගමයේ කෘත්‍යාධිකාරී මණ්ඩල තීරණයට අනුව අද සිට ක්‍රියාත්මක වන පරිදි, දිවයින පුරා සියලු මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සහ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් පරිපාලනය වෙත ලබාදෙන සියලු ආකාරයේ දත්ත සහ වාර්තා සැපයීම සම්පූර්ණයෙන්ම අත්හිටුවීම තීරණය කර ඇත . ඊට අමතරව සියලු ආකාරයේ දත්ත පද්ධති යථාවත් කිරීම (Data systems updating) අත්හිටුවීමටද එම සංගමය තීරණය කර ඇත .

ඒ අනුව මෙම කාලසීමාව තුළ නොලැබී යන කිසිදු දත්තයක් නැවත කිසිදිනෙක දත්ත පද්ධති තුළ යථාවත් නොකරන බවද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය දැඩිව අවධාරණය කර සිටී.

එමෙන්ම, බී.එච්. මිගස්දෙනියගේ අත්තනෝමතික ස්ථානමාරුව වහාම අවලංගු කර, ඒ පිළිබඳව සාධාරණ පරීක්ෂණයක් පවත්වන ලෙස ඔවුන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටියි.

ඊට අමතරව, කොළඹ වරාය සෞඛ්‍ය කාර්යාලයේ සහ කටුනායක ගුවන්තොටුපළ සෞඛ්‍ය කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක අනුමත සේවක සංඛ්‍යාව අඩු කිරීමට ගෙන යන උත්සාහය ද තමන් දැඩි පිළිකුලෙන් යුතුව හෙලා දකින බව එම සංගමය පවසයි .