යතුරු පැදියෙන් කෙනෙකු ඇරලවන්නට ගිය ඇඟැළුම් සේවකයාගේ මළ සිරුර කානුවකින් හමුවෙයි

හෝමගම, පිටිපන, ගලහේන ප්‍රදේශයේ ඇළ මාර්ගයක තිබී ඝාතනය කරන ලදැයි සැක කෙරෙන පුද්ගල මළ සිරුරක් අද (16) අලුයම හෝමාගම පොලිසිය විසින් සොයාගෙන ඇත . එම ඇළ මාර්ගය අසල පිහිටි වෙන්දේසි ඉඩමක් තුළ මෙම ඝාතනය සිදුකර ඇති බව පොලිසිය සැකකරයි .

එම වෙන්දේසි ඉඩම තුළ තිබී මියගිය පුද්ගලයාගේ බවට සැක කෙරෙන පාවහන් යුගලක් සහ රුපියල් 20 ක මුදල් නෝට්ටුවක් පොලිසියට හමුවි ඇත . මළ සිරුරේ මුහුණ සතුන් විසින් කා දැමීම හේතුවෙන් හඳුනා ගැනීමට නොහැකි වන අන්දමින් විකෘති වී ඇති බව ද පොලීසිය පැවසීය.

හෝමගම, පිටිපන, කදනවත්ත, සමගි මාවතේ පදිංචි අයෙකු ඊයේ (15) රාත්‍රියේ සිට අතුරුදන්ව ඇති බවට මීගොඩ පොලිසියට පැමිණිල්ලක් ලැබී ඇති බවත් එම පැමිණිල්ලේ සඳහන් තොරතුරු සහ ඝාතනයට ලක්ව සිටින පුද්ගලයාගේ තොරතුරු බොහෝ දුරට සමාන වන බවත් පොලීසිය පවසයි.

එමෙන්ම අතුරුදන් වී ඇති පුද්ගලයා ඇඟලුම් ආයතනයක රැකියාවක නිරත වන අයෙකු බවත් ඔහු අර්ධ කාලීනව කුලී රථ රියදුරෙකු ලෙස සේවය කර ඇති බවත් අනාවරණය වී ඇත. කෙසේවෙතත් ඊයේ රාත්‍රී 7.00ට පමණ ඔහු පුද්ගලයෙකු යතුරුපැදියෙන් ප්‍රවාහනය කිරීම සඳහා නිවසින් පිටත්ව ගොස් ඇති බව ද සඳහන් වේ.

හෝමගම පොලිසිය මේ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර තිබේ.