විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ විසින් තමා අත්අඩංගුවට ගැනීම සහ රඳවා තබාගැනීමේ නීත්‍යානුකූලභාවය අභියෝගයට ලක්කරමින් ගොනුකර ඇති රිට් පෙත්සමට මැදිහත් වී කරුණු දැක්වීමට පාර්ශව ගනනාවක් මේවන විට අභියාචනා අධිකරණයෙන් අවසර ඉල්ලා ඇතිබව වාර්තා වේ .
මෙලෙස අවසර ඉල්ලා ඇති පාර්ශව අතර ප්‍රමුඛ පෙළේ භිෂූන්වහන්සේලා සහ සිවිල් සමාජ සංවිධාන කිහිපයක්ද වන බව දැනගන්නට ඇත .
මෙලෙස අතරමැදි පෙත්සම් ගොනුකර ඇති පිරිස අතර ආචාර්ය ගුණදාස අමරසේකර, පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි, පූජ්‍ය දාපනේ සුමනවංශ හිමි, දිඹුලාගල රාහුලාලංකාර හිමි, සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ සභාපති චන්ද්‍ර නිමල් වාකිෂ්ඨ සහ ගෝලීය ශ්‍රී ලාංකික සංසදය (Global Sri Lankan Forum) ඇතුළු පාර්ශව ගනනාවාක් වන බව දැනගන්නට තිබේ .
දැනට විභාග වෙමින් පවතින මෙම රිට් අයදුම්පතේ වගඋත්තරකාර පාර්ශ්වයන් ලෙස තමන්ව ද ඇතුළත් කර ගන්නැයි නියෝගයක් නිකුත් කරන ලෙස ඔවුහු අභියාචනාධිකරණයෙන් ඉල්ලා සිටිති.
මේජර් ජෙනරාල් සලේ අත්අඩංගුවට ගැනීම සහ රඳවා තබාගැනීම සඳහා ‘චැනල් 4’ වාර්තා වැඩසටහන පදනම් කරගෙන චෝදනා කර ඇති මුත් එම වැඩ සටහනේ විශ්වසනීයත්වයක් නොමැති බව නිල විමර්ශනවලදී හෙළි වී ඇති බවත්, අදාළ කාලසීමාව තුළ සලේ ශ්‍රී ලංකාවේ රැඳීනොසිටි බව එම පරීක්ෂණ මඟින් තහවුරු කර ඇති බවත් ඔවුහු පවසති .
එමෙන්ම එෆ්.බී.අයි වාර්තාව සහ ඕස්ට්‍රේලියානු ෆෙඩරල් පොලිස් වාර්තා මගින්ද පාස්කු ප්‍රහාරයේ වගකීම සහරාන් හෂීම් ප්‍රමුක කණ්ඩායමට පවරා ඇතිබව ඕවුහු පෙන්වා දෙති .