සංචාරකයන්ට සතුන්ගේ කොටස් වික්ක ව්‍යාපාරිකයාට මිලියන දෙකක දඩයක්.

කිතුල්ගල සංචාරක නගරයේ ස්වර්ණාභරණ අලෙවිසැලක ආරක්ෂිත වනජීවී සත්ව කොටස් නීතිවිරෝධී ලෙස ළඟ තබාගෙන අලෙවි කිරීමේ චෝදනාවට අත්අඩංගුවට ගත් සැකකරුවෙකු ඔහුට එරෙහිව නගා තිබූ චෝදනා 38කට වරදකරු විය . එම හේතුවෙන් ඔහුට රුපියල් මිලියන 2.1ක (ලක්ෂ 21ක) දඩයක් නියම කර තිබේ.

වනජීවී සංරක්ෂණ නීති යටතේ චෝදනා 38ක් එල්ල කරමින් මෙම සැකකරු 2026 ජූනි 24 වැනි දින රුවන්වැල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබිණි.

මෙම නඩුව අද කැඳවූ අවස්ථාවේදී සැකකරු තමන්ට එල්ල වී තිබූ සියලුම චෝදනාවලට වරද පිළිගත්තේය. ඒ අනුව ක්‍රියා කළ රුවන්වැල්ල මහේස්ත්‍රාත්වරයා රුපියල් මිලියන 2.1ක දඩ මුදලක් නියම කළ අතර, එම මුදල මාස තුනක කාලයක් ඇතුළත වාරික තුනකින් ගෙවීමටද අවසර ලබා දුන්නේය.

එහි පළමු වාරිකය 2026 අගෝස්තු 05 වැනි දින හෝ ඊට පෙර ගෙවන ලෙස අධිකරණය නියෝග කර ඇත.

වනජීවී සහකාර අධ්‍යක්ෂ කාර්යාලයේ නිලධාරීන් සහ බුලත්කොහුපිටිය අඩවි ආරක්ෂක කාර්යාලයේ නිලධාරීන් ඒකාබද්ධව සිදුකළ වැටලීමකදී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණි.