සුරේෂ් සලේ පරීක්ෂා කළ දිනයේ වීඩියෝ දර්ශන CID යේ නැතිලු .

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රැඳවුම් බාරයේ සිටිනා හිටපු ජාතික බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේ සෙසු සැකකරුවන් ඉදිරියේ ප්‍රසිද්ධියේ නිරුවත්කර පරීක්ෂාවට ලක්කළ දිනයේ වීඩියෝ දර්ශන තමන් සතුව නොමැති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට දැනුම් දී තිබේ.

මාසයකට පෙර වීඩියෝ දර්ශන පමණක් දත්ත ගබඩාවේ පවතින බවත්, මාර්තු 8 වන දින සිදුකළ පරීක්ෂාවේ දර්ශන නොමැති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර ඇත. ඒ අනුව අදාළ දර්ශන ලබාගැනීම සඳහා වෙනත් පාර්ශ්වයකින් පරිගණක සහාය ලබාගැනීමට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ අවධානය යොමුව තිබේ.

සුරේෂ් සලේ සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව තවත් වාර්තා කිහිපයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා ඇති අතර එම වාර්තා ලබන 26 වන දිනට පෙර ලබාදෙන ලෙස ද දැනුම් දී ඇති බව වාර්තා වේ.

මානව හිමිකම් කොමිසම හමුවට කැඳවු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිළධාරීන් විසින් සුරේෂ් සලේ ප්‍රසිද්ධියේ නිරුවත්කර පරීක්ෂා කළ බවට වන චෝදනාව පිළිගෙන ඇත.