ටිබෙටයේ භූමිකම්පාවක්

චීනයේ ටිබෙට් ස්වයංපාලන කලාපයේ නාග්චු නගරයට අයත් බාචෙන් ප්‍රදේශයේ ඊයේ (22) රාත්‍රියේ සිදුවූ ප්‍රබල භූමිකම්පාවෙන් පුද්ගලයින් 16 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 46 දෙනෙකු තුවාල ලබා ඇති බව චීන රාජ්‍ය මාධ්‍ය වාර්තා කරයි.

රික්ටර් මාපකයේ ඒකක 7.0ක ප්‍රබලත්වයකින් යුතු වූ මෙම භූකම්පනය එරට වේලාවෙන් රාත්‍රී 10.33ට පමණ සිදුව ඇති බව චීන භූමිකම්පා මධ්‍යස්ථානය තහවුරු කර තිබේ.

තුවාල ලැබූවන් අතුරින් 11 දෙනෙකුගේ තත්ත්වය බරපතළ අතර, තවත් 35ක් සුළු තුවාල ලබා ඇත.

භූමිකම්පාවත් සමග ප්‍රදේශයේ නිවාස 339ක් සම්පූර්ණයෙන්ම කඩා වැටීමට හෝ බරපතළ හානියට ලක්ව ඇති අතර, සත්ව ගොවිපළ 20කට ආසන්න සංඛ්‍යාවකට ද හානි සිදුව තිබේ. එමෙන්ම භූකම්පනය හේතුවෙන් කලාපයේ විදුලි බල සැපයුම සම්පූර්ණයෙන්ම ඇනහිට ඇති බව ප්‍රාදේශීය වාර්තා සඳහන් කරයි.

තත්ත්වය තක්සේරු කරමින් චීන බලධාරීන් විසින් ප්‍රදේශය පුරා හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත්කර ඇති අතර, සෙවීම් හා මුදාගැනීමේ කටයුතු වේගවත් කර ඇත.

ආපදාව පිළිබඳ විශේෂ අවධානය යොමු කරමින් චීන ජනාධිපති ෂී ජින්පිං මහතා බලධාරීන්ට උපදෙස් දී ඇත්තේ ආපදාවට ලක්වූ පිරිස් නිසි පරිදි නැවත පදිංචි කිරීමටත්, ඔවුන්ගේ ජීවිත හා දේපළවල ආරක්ෂාව උපරිමයෙන් තහවුරු කිරීමටත් කඩිනම් පියවර ගන්නා ලෙසය.